Choice

Choice

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•


තරුණයෙක් යාළුවො කට්ටියක් එක්ක එක්දින විනෝද චාරිකාවක් යන්න තීරණය කළා . ඉතින් මේ ගමන යොදා ගත්ත දවසේ මෙයා උදේම ගෙදරින් පිටත් වුණා නගරෙ තියෙන බස් හෝල්ට් එකට යන්න. 


මේ දවසේ මේ ගමේ හිටපු තවත් තරුණයෙක් සැලසුම් කරලා තිබුණා එයාගේ යාළුවෙකුගේ දානෙ ගෙදරකට උදව් වෙන්න යන්න. මේ තරුණයත් මේ ගමන යන්න උදේම පිටත් වෙලා බස් හෝල්ට් එකට යන ගමන් හිටියේ .


මේ පයින් ඇවිදගෙන යන තරුණයො දෙන්නා එක තැනකදි එකිනෙකාව මුණගැහෙනවා. දෙන්න කලින් ඉඳන්ම අදුරන නිසා, දෙන්නාගේ විස්තර එහෙම කතාබහ කරනවා.


අන්තිමට මේගොල්ලෝ තුන්මං හන්දියකට ආවහම, මේ දෙන්නට මෙතනින් දෙපැත්තකට තමයි යන්න තියෙන්නේ. මුලින්ම අර විනෝද චාරිකාව යන්න හදපු තරුණයා අනිත් එක්කෙනාට කියනවා 


"අපි යන්නේ නාන්න පුළුවන් තැනකට . අපිට හොඳට විනෝද වෙන්න පුළුවන්. අපේ කට්ටිය ඔයාවත් අඳුරනවා. ඒ හින්දා යමු අපිත් එක්ක. අනිවාර්යෙන්ම හොඳට විනෝද වෙන්න පුළුවන්. එතන නියම තැන" කියලා


"මාත් මේ ඔයාට කියන්න හිටියේ, මාත් එක්ක මම යන දාන ගෙදර යමු කියලා. ඇත්තටම එහේ ගොඩක් කට්ටිය නැහැ. ඉතින් අපිටත් අවස්ථාව හම්බවෙනවා ගොඩක් දේවල් කරලා දෙන්න. ඒකම ලොකු පිනක් නේ. මං කලිනුත් මෙයාලගේ දානෙ ගෙදරකට ගියා. ඒකයි මං හොඳටම දන්නේ මේ ගැන. මේ දාන ගෙදර කෑම හදන්නෙත් ඒගොල්ලන්ගෙ ආච්චිලා කට්ටිය එහෙම එකතු වෙලා. ඒ කෑමත් පුදුම රසක් තියෙන්නේ. පිනකුත් කරගෙන හොඳට කෑම බීමත් කාලා එන්න පුළුවන්."අනිත් තරුණයත් කිව්වා.


මෙහෙම මේ තරුණයෝ දෙන්නා දෙන්නට කියා ගත්තට, එක්කෙනෙක් වත් කැමති වුණේ නැහැ තමන් යන ගමන වෙනස් කරලා අනිත් එක්කෙනා කියපු තැනට යන්න. ඒ නිසා අන්තිමේදී මේගොල්ලෝ තුන්මං හන්දියෙන් හැරිලා තමන්ට අදාළ පාරේ ගමන් කරලා තමන් යන්න ඕනේ තැනට ගියා. 


නාන්න ගියපු තරුණයාට එතැන හොඳටම විනෝද වෙන්න අවස්ථාව තිබුණා . කෑම බීමත් හොදින් තිබුණා. කිසිම ප්‍රශ්නයක් වුනෙත් නැහැ.


ඒ වගේම දානෙ ගෙදර ගියපු තරුණයාටත්, එයා හිතපු විදියට දානෙ ගෙදර වැඩවලට උදව් කරලා පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා. කලින් දවසටත් වඩා ගොඩක් හොද රස කෑම බීම කන්නත් හම්බවුණා.


හැබැයි මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් තමන් මේ ගතකරපු දවස සතුටින් වින්දේ නැහැ. නාන්න ගිය තරුණයා දාන ගෙදර ගැන, දානෙ ගෙදර ගිහින් පින් කරගන්න තිබිච්ච අවස්ථාව, ඒ වගේම කෑම බීම ගැනත්, යාලුවා දානෙ ගෙදර කොහොම ගත කරනවා ඇත්ද කියන එකත් හිත හිතා හිටියා. 


දානේ ගෙදර ගියපු තරුණයා දිය ඇල්ලක් ලඟ නාන්න ගියා නම් ඒක කොච්චර හොඳ අත්දැකීමක් වෙයිද කියන එක, කට්ටිය දැන් හොදට නානවා ඇති, විනෝද වෙනවා ඇති කියන එක ගැන හිත හිතා හිටියා .  


අන්තිමේ තමන් ගාව කොච්චර හොඳ දේවල් තිබුනත්, කොච්චර සතුටු වෙන්න දේවල් තිබුනත් මේ දෙන්නාගෙන් එක්කෙනෙකුටවත් ඒ දවසේ ඇත්තටම සතුටු වෙන්න බැරි වුණා. 


ඔයාට මොකද හිතෙන්නේ මේ කතාව ගැන? 


සමහර වෙලාවට මිනිස්සුන්ගේ සමහර හැසිරීම් / ආකල්ප නිසා එයාලට ඇත්තටම සතුටු වෙන්න තියෙන අවස්ථා, සාර්ථක වෙන්න තියෙන අවස්ථා අහිමි වෙනවා.


මේ තරුණයෝ දෙන්නටම අවස්ථාව තිබුණා වෙනස් වෙන්න . දෙන්නටම ඒ අවස්ථාව ආවා. මොකද දෙන්නම දෙන්නට කතා කර ගත්තා තමන් එක්ක යන්න එන්න කියලා. ඒත් එයාලා වෙනස් වෙන්න කැමති වුණේ නැහැ.


ඒත් මේගොල්ලෝ තමන්ගේ මාර්ගයේ ගියා වුනත්, හිත තිබුනේ අර අත් හැරුනු අවස්ථාව ලග . මේ වෙලාවේ අනිත් කෙනා මොනවා කරනවා ඇතිද , තමන් ඒ අවස්ථාව ගත්තා නම් කොහොම ඉන්න තිබුණා ද, අනිත් කෙනා කොහොම සතුටු වෙනවා ඇද්ද? කියන එක ගැන හිත හිතා හිටියා මිසක්, මෙයාලා තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් තමන් සතුටු වෙන එක ගැන හිතුවේ නැහැ. 


ඉතින් අත් හැරුනු අවස්ථාවක් ගැන හිත හිතා ඉන්න නිසා, වෙන කෙනෙක්ගේ සතුටක් ගැන හිත හිතා ඉන්න නිසා, තමන්ට කොච්චර වටින දේවල් තමන් ගාව තිබුණත් මේගොල්ලන්ට ඒව පෙනුනෙත් නැහැ. දැනුනෙත් නෑ. තමන්ට ලැබෙන දේවල් පාවිච්චි කලාට ඒවා හදවතින්ම විදින්නත් බැරි වුණා. අන්තිමට සිද්ධ වුණේ සතුටු වෙනවා වෙනුවට, තමන් ගාව ගොඩක් දේවල් තිබිලත් දවස කලකිරීමෙන් නිමා කරන්න.


මේක හරිම පොඩි සිදුවීමක් . මේ වගේ සිදුවීම් ඔයාගේ ජීවිතෙත් ඕන තරම් වෙලා ඇති. එකම දවසේ ඔයාට දේවල් දෙකක් කරන්න අවස්ථාව ලැබෙන කොට, ඔයා එකක් තෝරගෙන, ඒත් ඔයා අතහැර දාපු අවස්ථාව ගැන හිත හිත හිටපු සිදුවීම් ඔයාගෙ ජීවිතෙත් ඇති. මතක් කරලා බලන්න.


මිනිස්සුන්ට ජීවිතයේ, තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන්, තමන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගන්න අවස්ථාවන් ඕන තරම් ලැබෙනවා. තමන්ගේ ජීවිතයේ රැකියාව, අධ්‍යාපනය, ආදර සම්බන්ධතා, ජීවිතයේ තවත් වැදගත් හැම දේම ගැන මෙහෙම අවස්ථාවන් දෙක තුනක් එකම වෙලාවෙදි මිනිසුන්ට ලැබෙනවා වෙන්න පුළුවන්. 


සමහර වෙලාවට තමන් හරියටම තමන් යන්න ඕන මාර්ගය තීරණය කළාට පස්සෙ, තමන් තෝරගන්න ඕන කෙනාව තෝර ගත්තට පස්සේ, තමන්ට තවත් වෙනස් ම අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. හරියට මේ කතාවෙ තරුණයෝ දෙන්නට සිද්ධ වුණා වගේ. 


ඉතින් මෙහෙම වෙනත් අවස්ථාවක් ලැබුණොත් මොකක්ද කරන්න ඕන?


මනුස්සයෙක් ජීවිතේ තීරණ ගනිද්දී ආවට ගියාට තීරණ ගන්නේ නැහැනේ. (හිටපු ගමන් එහෙම තීරණ ගන්න වෙලාවලුත් ඇති. ඒත් ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් තීරණ ගන්නේ තමන්ගෙ හීන, අරමුණු, බලාපොරොත්තු, සතුට තමන්ට ගැලපෙන දේවල් මේ හැම දෙයක් ගැනම හොඳට හිතලානේ). 

ඉතින් ඔයා ඔයාගේ හැම දේ ගැනම හිතලා හරි තීරණයක් ගත්තට පස්සේ, ඔයාට තවත් අවස්ථාවක් ලැබුණොත් වෙනස් වෙන්න,

අන්න එතනදි ඔයා ගොඩාක් සැරයක් කල්පනා කරන්න ඕනේ, මං මේ වෙනස් අවස්ථාව ලබා ගන්නවාද නැද්ද කියන එක? මොකද ඔයාට ලැබෙන වෙනස් අවස්ථාව තුළ ඔයාට අලුත් / වෙනස් ප්‍රතිලාභ ලැබෙනවා වගේම, ඔයා කලින් කරන්න හදපු දේ කිරීමෙන් ඔයාට ලබාගන්න ඕන වෙච්ච ප්‍රතිලාභ, මේ වෙනස් දේ කරලා ලබාගන්න බැරි වෙන්නත් පුළුවන්.


හිතන්නකෝ අර දානෙ ගෙදරක යන්න ඕන වෙච්ච තරුණයා ගැන. එයාගේ ප්‍රධානම අරමුණ වුණේ පිනක් රැස් කරගන්න ඕනි කියන එක. ඉතින් ඒ වෙලාවට එයාට ඕන වෙන්නේ පින රැස්කර ගන්න නම්, නාන්න ගියහම ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ නැහැනේ. එත් හැබැයි නාන්න යන එකෙන් එයාට වෙනස් ම සතුටක් ලැබෙනවා. මේ දෙකෙහිදීම මෙයාට ප්‍රතිලාභ ලැබීම සහ ප්‍රතිලාභ අහිමි වීම කියන දෙකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. 


ඉතින් ඔයාත් හොඳින් හිතල බලන්න, යන මාර්ගයෙන්/ තෝරා ගැනීමෙන් වෙනස් වෙන්න හිතුවොත්, ඒ වෙනස් වීමෙන් පස්සේ, ඔයාට අනිවාර්යෙන්ම හැබෑ කරගන්න ඕන හීනය, බලාපොරොත්තුව, අරමුණ ඉෂ්ට කරගන්න පුලුවන්ද බැරිද කියන එක. 


ඒ ප්‍රධාන අරමුණ ඉෂ්ට නොවුනොත්, නැත්නම් ඒ බලාපොරොත්තු වෙච්ච දේ ජීවිතයට නොලැබුණොත්, ඒක ඔයාට ප්‍රශ්නයක් නැද්ද කියන එක. ඒක වෙනුවට ලැබෙන දෙයින් ඔයාට සතුටු වෙන්න පුලුවන්ද කියන එක. එහෙම ඔයාට ප්‍රශ්නයක් නැත්නම්, ඔයාට පුළුවන් වෙනස් වෙලා වෙනස් අවස්ථාවක් ගන්න. 


එහෙම නැත්නම් ඔයාට ඕන ඔයාගේ ප්‍රධානම බලාපොරොත්තුව වුන දේ කරගන්න නම්, ඔයාට පුළුවන් වෙනස් වෙන්නෙ නැතුව ඔයා තෝරගත්ත මාර්ගයේම යන්න. ඔයා තෝරගත්ත ජීවිතේම විඳින්න.


හැබැයි මතක තියාගන්න, ඔයා මොන දේ කලත්, මොන අවස්ථාව, රැකියාව තෝරා ගත්තත්, ඔයාගේ ආදර සම්බන්ධතා වල දී කවුරු ඔයාගෙ ජීවිතේ ඉන්න ඕනේ කියලා තෝර ගත්තත්, ඔයා ඒ තෝරාගත් අවස්ථාව, තෝර ගත්ත කෙනා සහ කරන දේ ගැන සීයට සීයක් සතුටු වෙන්න ඕන . මොකද ඒක ඔයාගේ ම තෝරාගැනීමක්.


එක්කෝ තෝරාගත් මාර්ගයේ දිගටම යන්න. නැත්නම් අවශ්‍ය විදිහට වෙනස් වෙන්න . හැබැයි අත්හැරපු දේ ගැන දුක් වෙන්න එපා. මොකද ගොඩක් වෙලාවට මිනිස්සු ගන්නේ, ඒ වෙලාවේ ජීවිතේ තමන්ට ගන්න තියෙන හොඳම තීරණය. ඉතින් ඒ නිසා, තමන්ට ලැබිච්ච දේ තුළ, ඒ මොහොත තුළ , තමන්ගේ ජීවිතය සතුටින් ගෙවන්න. 


කතාවෙන් දෙයක් ගත්තා නම්, අනිත් අයටත් බලන්න share කරන්න.


#motivation #success #understandingself


බාලිකා හේවගේ 

Certified Life Coach

Report Page