||

||



එයා එහෙම කියනගමන් මගෙ මුලු මූණම ඉම්බා.මගෙ මූණ දිගේ ගලපු කඳුළු එයාගෙ මූණෙත් තොල්වලත් ගෑවුණා. මාව තුරුල් කරගෙන අභිමානත් අඬනවා. අපි දෙන්නම අඬනවා. ගොඩක් කාලෙකට පස්සෙ මට එයාගේ රස්නේ දැනෙන්නෙ. ඒ හින්දා මං එයාගෙන් ඈත් වෙන්න ට්‍රයි කලේනෑ. එයාව මට අයිති උනත් නැතත් මගේ කුසේ ඉන්න බබාගේ තාත්ත එයා. ඒ දේවල් මතක් වෙනකොට මගෙ ඇඬිල්ල තවත් තවත් වැඩි වුනා මිසක් අඩුවුනේ නෑ. අභිමානගෙ ෂර්ට් එක මගේ කඳුලු වලින් තෙත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. අපි දෙන්නා ඒ විදිහටම ඉඳගෙන කොච්චර වෙලාවක් ඇඬුවද කියලා මට මතක නෑ. ඒ විනාඩි ගාන මට දැණුනෙ අවුරුද්දක් වගේ. එයාව වෙන කාටවත් දෙන්න බැරි ලෝබකමකින් මගේ හිත පිරිල ගියා.


" ඔ..යා..මා..ව රැ..වැ..ට්..ටු..වා..ද අභිමාන..? "


එයාගෙ පපුවට තුරුල් වෙලා ඉන්න ගමන්මයි මං හිමීට කොඳුරලා ඇහුවේ. ඒක ඇහුන ගමන් අභිමාන මගේ අත් දෙකින් අල්ලලා මාව එයාගෙන් ඈත් කරලා අත් දෙකෙන්ම මගේ මූණ අල්ලගත්තා. එයාගෙ ඇස්වල කදුලු. මගෙ ඇස්වලත් කඳුලු කොච්චර පිරිලාද කියනවනම් මට එයාව පේන්නෙත් බොඳවෙලා. මං එයා දිහා බලන් ඉද්දිම කඳුළු බෝලයක් කම්මුල් දිගේ කඩාගෙන වැටුණා.


" මං මගේ කෙල්ලව රැවැට්ටුවේ නෑ.. මගේ අතින් වැරදි වුණා තමයි.. මං ඒක පිළිගන්නවා.. ඒත් මං කවදාවත් ඔයාට අබමල් රේණුවකවත් වැරැද්දක් කළේ නෑ යෙශීමා.."


එයා ඇස් වලට තොල් ළං කරලා හිමින් සැරේ කියාගෙන ගියා.


" එහෙනම් මං එදා දැක්කේ මොකක්ද අභිමාන..? ඒ ඔයාගේ කවුද..? අනේ මට කියන්න..මට මේවා දරාගන්න බෑ.. මට ඉස්සර වගේ ඉන්න ඕනේ..


.... ඔයා කියන දේවල් වලින් කොයි තරම් මට රිදුණත් කමක් නෑ මට කියන්න..අභිමාන.."


එයා මගෙ මූණ අත් දෙකෙන් අල්ලගෙන එයාගෙ මූණ ළඟට කරගත්තා. දැන් මට එයාගෙ රතුවුන ඇස් වල තියෙන වේදනාව හොඳට පේනවා.


" මං දිහා බලන්න යෙශීමා.. මං මෙහෙම අඬනවා ඔයා කවදාවත් දැකල තියෙනවද.. කොල්ලෙක් ලේසියෙන් අඬන්නෑ.. ඔයා අද ඒක කළා.. තවත් මාව අඬවන්නෙපා රත්තරං.. මට කතා කරන්න ඉඩ දෙන්න.. ප්ලීස්.."


" ඔයා මගෙ ආදරේට කවදාහරි වැරැද්දක් කලාද..?."


මං ඇහුවෙ එයාගෙ ඇස් දිහාම බලාගෙන.


" නෑ.. කවදාවත් නෑ.."


මගේ ඔළුව යකාගේ කම්මල වගේ. අභිමාන බොරු කියනවාවත්ද. 


" අනේ අභිමාන බොරු කියන්න එපා..ප්ලීස් බොරු කියන්න එපා.. මගේ ඔළුව රිදෙනවා.. අනේ අ..ම්..මේ...මට දරා ගන්න බෑ මේවා.."


මං ඔලුව බදාගෙන කෑගැහුවා. එකපාරටම උන මගෙ වෙනස එයාට වගේම මටත් දරාගන්න පුළුවන් උනේ නෑ. අභිමාන මගෙ මූණ අතින් අල්ලගෙන මගේ නළලට එයාගෙ නළල හේත්තු කරගත්තා.


" අනේ මගේ කෙල්ලේ ඔහොම අඬන්න එපා මට දරා ගන්න බෑ..පිරිමියෙක්ට වුනත් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා මැණික.. මගේ සුදු කෙල්ලව මෙච්චර අඬවපු එකට සමාවෙන්න රත්තරං.."


අභිමාන එයාගෙ පපුවට මාව තුරුල්කරගත්තා. මං ඒ පපුවට ඔලුව තියාගෙන එයාගෙ ඉකි ගහන ගමන් මගෙ අත් වලින් එයාගෙ පිට හීරුවා. 


" ඔයා ආදරේ මට විතරයි කිව්ව නේද..මා..ව ක..ව..ද..ව..ත් දාල යන්නෙ නෑ කියලා කිව්වා නේද.. අභිමාන.. මට විතරයි ආදරේ කිව්වා.. මට මතකයි ඒවා.. ම..ට.. ම..ත..ක..යි.. මට තරම් කාටවත් ආදරේ කරලා නෑ කිව්වා.. ඔයා.. ඔ..යා.. බොරුකාරයෙක්.. ජරා මිනිහෙක්.. ය..න..වා.. යනවා මෙතනින්..."


මං එයාගෙ පපුවට අත්වලින් ගහන ගමන් කෑගැහුවා. අන්තිමට අභිමාන මගේ අත්දෙක අල්ලගෙන මාව එයාගෙ පපුවට තුරුළු කර ගත්තට පස්සෙයි මගේ දැඟලිල්ල නැවතුණේ.


" මේ අහන්න.. යෙශීමා.. මෙහෙම ගියොත් අපි දෙන්නාගෙන් එක්කෙනෙක්ට පිස්සු හැදිලයි නතරවෙන්නෙ මේක.. මං හැමදේම කියන්නම් මගෙ පණට.. හැබැයි මං කතාව ඉවර කරනකං ඔයා ඉවසීමෙන් අහන් ඉන්න ඕනේ.. හාද.. ම්... හොඳ ළමයා වගේ ඉන්නවා නේද.. ?"


එහෙම අහන ගමන් එයා මගෙ නළල ඉම්බා. එයා ඉඹිනකොට මං ඇස් පියාගත්තා.


" හ්ම්..."


එයා ලොකු හුස්මක් පිට කරලා ටික වෙලාවක් සද්දයක් නැතුව හිටියා. මං එයාට බාධා කලේ නෑ. ටිකකින් එයාම කතාව පටන් ගත්තා


" ඔයාට මතකද.. මං ගෙදරට ප්‍රොපෝස් කරන්නත් කලින්.. දවසක් ඔයා කවිරු එක්ක ෂොපින් කරන්න ගියා.. ම්.. මතකද..? "


එකපාරටම මතක් වුණේ නැති නිසා මං ටික වෙලාවක් කල්පනා කළා. 


"ක..වි..රු.. අ..යි..යා.. එ..ක්..ක.. මම කවද ශොපින් ගියෙ..? "


" ඇයි මතක නැද්ද.. ශොපින් මෝල් එකේදි ඔයාලට මාවත් හම්බුවුනේ..? "


මට ඒක මතක් වෙනකොට නම් හිනාත් ගියා. ඔෆිස් එකේ ඉන්ටවීව් ගිහින් ඉන්ටවිව් එක පාස් වෙලා ඊලග සතියෙ ඔෆිස් යන්න අලුත් ඇඳුම් ටිකක් ගන්න හිතාගෙන අයියගෙ ක්‍රෙඩිට් කාඩ් එක කොල්ලකාලා ශොපින් ගිය ඒකනේ ඔය කියන්නේ. අම්මෝ එදා මම කරපු නසරානි වැඩ ටික !! 


" මොකද කෙල්ල හිනාවෙන්නේ..මතක් වුණාද..?"


" ඔ.. ඔව්..."


" ම්.. එදා ඔයාට මතකද මං ශොපින් කලේ මට ඇඳුම් ගන්න නෙමේ.. ගෑණු ළමයෙක්ට ඇඳුම් වගයක් ගන්න.."


එයා කියනකොටයි මට මතක් වුණේ..එදා මං එයාගේ ඇඳුම් බාස්කට් එකට එබිලා බලනකොට ඒකෙ තිබුණේ මගේ වයසේ කියලා හිතන්න පුළුවන් ගෑනු ළමයෙක්ගේ ඇඳුම්නෙ. ඒ ගැන අභිමානගෙන් අහන්න හිතාගෙන හිටියත් අද වෙනකල්ම ඒක අහන්න බැරි වෙලා. දැන් ඒ ගැන කියනකොට හිතට අමුතු බයකුත් දැනෙන්න ගත්තා.


" ම..ට ම..ත..ක..යි අභිමාන.. මං ඒ ගැන ඔයාගෙන් අහන්න හිටියේ.. ඒත් මට ඒක අමතක වෙලා ගියා.."


" එදා මං ඒ ඇඳුම් ගත්තේ..ඔයා හොස්පිට්ල් එකේදි දැකපු ග(ර්)ල්ට.."


මගේ හිත ටිකක් හරි ගැස්සුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්. මං එයාගෙ මූණ දිහා බැලුවා.


" ඇත්තටම..එ..යා.. ක..ව්..ද අභිමාන..? "


" එයා.. ම..ගෙ.. බබී..."


මගේ පපුව එකපාරටම හිර වෙනවා වගේ මට දැනුනා.


" බබී..? "


" ඔව් යෙශීමා.."


" අනේ අභිමාන.. ඔයාගෙයි එයාගෙයි තියෙන සම්බන්දෙ මොකක්ද කියලා විතරක් මට කියන්න.."


මං කිව්වෙඅභිමානගෙ උරහිස් දෙකෙන් අල්ලලා එයාව හොලවන ගමන්.


" බබී කියන්නෙ මගෙ නංගි.."


එයා මං දිහා ආදරෙන් බලන් ඉන්නවා. ඒ උනාට මං ඉන්නේ මොළේට සමනල් ගැටේ වැටෙන ප්‍රශ්න ගොඩකට මැදිවෙලා. බබීලු..නංගිලු.. අනේ දෙයියනේ මගෙ කණ් දෙක බීරි වෙලා යනවා නම් මේවා ඇහෙන්නෙ නැති වෙන්න.


" මොකක්..? "


" ඔව්.."


" අ..භී..? ඔයා මට මීට කලින් කවදාවත් කියලා නෑනේ ඔයාට නංගි කෙනෙක් ඉන්නවා කියලා.."


" මං දන්නවා පණ.. මට ඒක ඔයාට කියා ගන්න අවස්ථාවක් ලැබුණේ නෑ.. ඒත් මං හංගන්න හිටියේ නෑ මගෙ කෙල්ලට.. හැමදේම ඔයාගෙ ඇස්වලින්ම දකිනකං මට මොකුත් කරගන්න බැරි උනා.. ඒකට මට සමාවෙනවාද...? "


" අභිමාන... සමාව නෙමේ.. මට මේ දේවල් මුලින්ම කියලා ඉන්න.. ඔයාට නංගි කෙනෙක් හිටියා නම්.. එයා මෙච්චර කල් කොහෙද හිටියේ..? ඇයි මං එයා ගැන දැන ගත්තෙ නැත්තෙ..? අනේ මන්දා මට මුකුත් තේරෙන්නෙ නෑ.."


මං කිව්වෙ ඔලුව අත් දෙකෙන්ම බදාගන්න ගමන්.


" කලබල නොවී අහගන්නකො මං ඔයාට හැමදේම කියන්නම්.."


අභිමාන තව ටිකක් මගෙ ළඟට ඇවිත් මාව එයාගෙ ඇඟට හේත්තු කරගත්තා.


" මගෙ නංගි.. අනන්‍යා.. එයා මෙච්චර කල් කොහෙද හිටියේ කියන ඔයා ඇහුවා නේද.. "


" හ්ම්.."


" ඔයා පුදුම වෙයි මගේ කෙල්ල මෙච්චර කල් හිටියේ කොහෙද කියලා ඇහුවාම.. එයා හිටියේ.. සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් පිස්සං කොටුවෙ.."


" අභිමාන..? "


" ඔව්.. දැන් එයාට අවුරුදු විසි දෙකයි.. ඔයාට වඩා අවුරුද්දයිනෙ බාල.. එයාට ඔහොම වෙනකොට වයස අවුරුදු දාසයයි..


 ඒ කාලේ වෙනකොට අපේ අම්මයි තාත්තායි සෙපරේට් වෙලා.. අම්මා අපෙන් ඈත් වෙලා වෙනම ගෙදරක පදිංචියට ගියා.. තාත්ති ඇනීටා එක්ක අපේ ගෙදර.. නංගි අම්මා එක්ක යන්න ඕනි කියලා ඇඬුවාට තාත්ති යන්න දුන්නෙ නෑ.. අම්මට ගෙදරින් එළියට බහිනකොට අරං යන්න හම්බවුණේ එයාගෙ ඇඳුම් ටික විතරයි.. ඒ කාලෙ අයියටයි මටයිත් ගෙදර ඉන්න එක එපා වෙලා තිබුනේ.. ඇනීටගේ ජරා ගතිය මේ කාලේ වගේම ඒ කාලෙත් හොඳට තිබුණා.. ඒ ලෙවල් කලාට පස්සේ මාව පේරා සිලෙක්ට් උනා..ඒත් මං ඒක ඉග්නෝ කලා.. අයියා CID එකට ඇප්ලයි කරද්දි මම බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරන්න මගෙ තනි කැමැත්තට UK ගියෙ. 


ඒ ගිහින් එනකොට මෙහෙ වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා.. නංගිව බලන්න එන්නවත් තාත්තා අම්මට ඉඩ දීලා නෑ.. අම්මයි නංගියි ගොඩක් ක්ලෝස්ඩ්.. අම්මා නැති දුකටයි ගෙදර තියෙන ප්‍රශ්නයි නිසා එයා ලව් එෆෙයා එකක් පටන් අරගෙන තිබුණා එයාගෙම වයස කොල්ලෙක් එක්ක.. කොල්ලාටත් හොඳට සල්ලි තියෙනවා..බට්.. ඇනීටාගෙ හිතේ තිබිලා තියෙනවා අනන්‍යාව ශ්‍යාමෙන්ගෙ නෙෆ්‍යු කෙනෙක්ට බන්දලා දෙන්න සල්ලි කඩාගන්න ඕනි හින්දා.. ඒ නිසා තාත්ති මේ දෙන්නගෙ එෆෙයා එකට අකමැති වෙලා.. ඒත් එකපාරටම කොල්ලා ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා.."


" අ..නේ....!! "


" ඔව්.. කොල්ලගෙ බ්‍රේන් එකට ගොඩක් ඩැමේජ් වෙලා.. මොළේ ඩෙඩ් වෙලා ඒත් හාට් එක වැඩ.. ඒ විදියට සති දෙකක් කොල්ලා කෝමා එකක ඉඳලා මැරිලා තියෙන්නෙ.. තමන් ආදරේ කරන කෙනා මේ ලෝකෙ දාලා ගියාම එයා එක්ක දැකපු හීන ඔක්කොම බිඳිලා ගියාට පස්සේ තවත් ජීවත් වෙලා මොකටද යෙශීමා.. ඔයාට සිහිය නැතුව මේ ඇඳ උඩ හිටපු දවස් ටිකේම මට ඒ බය දැනුනා.. "


අභිමාන මාව තුරුල් කරගෙන ටිකක් වෙලා මගෙ ඔලුව සනීපෙට අතගෑවා. 


" නංගි ලියුමක් ලියලා තියලා සූසයිඩ් කරගන්න පවා ගිහින්.. වාසනාවකට ඒක අයියා දැකලා එයා බේරිලා.. අන්තිමට මං UK වල ඉඳන් ලංකාවට එනකොට හිටියේ යනකොට හිටපු අහිංසක කෙල්ල නෙවෙයි.. බලාගත්ත අත ඔහේ බලාගත්තු හැම වෙලේම තනියෙන් කියවන පිස්සු හැදිච්ච කෙල්ලෙක්..


ලංකාවේ ඉන්න හොදම ස්පෙෂලිස්ට්ලට, සයිකොලොජිස්ට්ලාට එයාව පෙන්නුවා..ඒ කිසිම දේකින් වැඩක් වුණේ නෑ.. කොල්ලා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙත් එයාගේ ඉස්සරහමයි.. ඒක එයාගේ ඇස් දෙකෙන්ම දැකපු නිසා මොළේට ගොඩක් ලොකු ශොක් එකක් ඇවිත් කියලයි ඩොක්ටර්ස්ලා කිව්වේ.. අන්තිමට එයාව ලුනටික්ස් අරං යන්න සිද්ධවුණා. එයාව ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් තියන්න කිව්වා.. ඒත්.. ඩොක්ටර්ස්ලා දන්නේ නෑ අපිට එයා හොයන සතුට දෙන්න බෑ කියලා..සම වයසේ ගෑණු ළමයෙක්ව එයාට සමීප කරවන්න කියලා ඩොක්ටර්ස්ලා කිව්වා.. ඒත්..පිස්සු හැදිච්ච කෙල්ලෙක් ආශ්‍රය කරන්න කැමති මොන කෙල්ල ද.. "


" අනේ අභී... මට පුළුවන් නංගිව බලාගන්න.. මට පුළුවන්..මං කැමතී... "


එහෙම කියන ගමන් මං අභිමානගෙ ඇඟේ එල්ලුණා. 


" මං දන්නවා ඔයා ඕක කියනවා කියලා යෙශීමා.. මං ආදරෙයි ගොඩක්.."


අභිමාන මගෙ මූණ ඉඹලා ආයෙ කතාව පටන් ගත්තා.


" ඒ ප්‍රශ්න තියෙන කාලෙ තමයි මං ඔයාව මුලින්ම දැක්කේ.. ඔයාට මතක ඇති යෙශීමා.. ඔයාව මුලින්ම දැකපු වෙලාවෙ මාව ගැස්සුනා.. මොකද මගේ නංගිට තියෙන්නෙත් ටිකක් විතර ඔයාගේ ෆේස් කට් එක.. හේතුව ඔයා දන්නවා.. මගේ අම්මා කියන්නෙ ඔයාගෙ නැන්දා.. ඔයා වගේ දඟකාර.. ලස්සන.. හුරතල්.. පිස්සු නටන කෙල්ලෙක්ව නංගිට ළං කලොත් කළොත් එයා ඉන්න තැනින් ටිකක් හරි සනීප වෙයි කියලා මං හිතුවා.. මොකද මං දන්නවා ඔයා එක්ක ඉන්න කෙනෙක්ට හිනාව කියන්නේ අමුතු දෙයක් නෙවෙයි කියලා..


ඒ දවස්වල මගෙන් ඔයාට ගොඩක් නපුරුකම් වුණා.. ඇත්තටම.. සමහර දේවල් මං කලේ හිතලාමයි.. මොකද මට ඒකෙන් දැනගන්න ඕන උනේ ඔයාට ෆේස් කරන්න වෙන ප්‍රශ්නය අනුව ඔයා ඒකට රියැක්ට් කරන විදිහයි response කරන විදිහයි.. මගේ වාසනාවකට ඔයා ඒ හැම දේකින්ම පාස් වුණා..


"ඔයාට මතකද මං ඔයාලගේ ගෙදර මුලින්ම ආව දවස..? "


ඒක කොහොම අමතක වෙන්නද.


" ම්... ඔව්.. ලුණු ගම්මිරිස් ටී එක බීපු දවසනෙ..? " 😂😂


"

 අම්මෝ... ඔව්.. මතකයිනේහ් කෙල්ලට..මට කවදාවත් අමතක වෙන්නෑ ඒ තේ එක.. අම්මෝ ඒකෙ රස.. මේ කියනකොටත් බඩේ ඉන්නපණුවෝ වොමිට් කරන්න වගේ යනවා.. " 😂😂


අපි දෙන්නාටම හිනා.


" මං ආවෙ ඔයාගේ සෙටිෆිකේට් ෆයිල් එක දෙන්නනෙ.. හැබැයි.. ඇත්තම කියනවා නම්..ඒක ඔයා ඔෆිස් එකේ දාලා ගිහින් තිබුණෙ නැහැ..! "


" මොකක්..? එ..හෙ..න..ම්.. ? එහෙනම් කොහොමද ඔයාගෙ අතට ඒක ගියෙ..? "


" ඔයා දෙව්මිණී එක්ක ඔෆිස් එකයි studio එකයි බලන්න ගියානේ.. ඒ වෙලාවේ මම ඒක හොරෙන් අරගත්තා.. "


" අනේ.. හොරගෙඩියා.. ඔයා කරපු දේවල් නිසා මම බොරුවට ගෙදරින් බැණුම් ඇහුවා.."


" ම්..මගෙ පිස්සු කෙල්ල.. මං ඒක ගත්තේ ඔයාගේ ගෙදර හොයාගන්න ඕන නිසා.. හොඳ වෙලාවට ෆයිල් එකේ ඇතුළෙ ඔයාගෙ ඩීටේල්ස් දාලා තිබුණා.මං ඒ එඩ්‍රස් එක බලාගෙන ගේ හොය හොයා ආවේ.. ඒ දවස්වලත් නංගිට හොඳටම අසනීපයි..එයා එතකොට හිටියෙ ලුනටික්ස්.. ඒත් ඔයා මගේ ජීවිතේට ළං වෙන්න ගත්තු නිසා මගේ හැම දෙයක්ම වෙනස් වුණා යෙශීමා.. ඇත්තමයි.. මං ගොඩක් හිනාවුණා.. ඔයා කරන දේවල් මතක් කර කර හිනාවුණා.. සමහර වෙලාවට මං ඔයාට බොරුවටත් එක්ක බැණලා ඇති.. ඒ හැමදේකටම මං අද ඔයාගෙන් සමාව ඉල්ලනවා.. "


" එපා අභී.. සමාව ඉල්ලන්න ඕන නෑ.. මං ආසයි ඒ කාලෙ හිටපු නපුරු යක්ෂයාටත්.. හී..හී.." 😛


අභිමානත් මාත් එක්ක එකතු වෙලා හිනාවුණා.


" ඔයා ගැන ආදරේ හිතුන මුල් කාලෙම මං අම්මට ඔයාගෙ ෆොටෝ එකක් පෙන්නලා ඔයා ගැන කිව්වා.. ඒ වෙලාවේ තමයි අම්මා ඔයාගෙ අප්පච්චිගෙයි අම්මාගෙයි නෑකම ගැන මට කිව්වෙ.. ඒ වෙනකම් මං දැනගෙන හිටියේ නෑ අම්මට තව සහෝදරයෙක් ඉන්නවා කියලා.. ඒ වගේම සහෝදරයා ඔයාගේ අප්පච්චි වෙයි කියලා කීයටවත් හිතුවෙ නැහැ.. ඉතිං ඒ විදිහට අහම්බෙන් මං ආදරේ කරල තියෙන්නෙ මගෙම නෑනාට..


 ටික දවසකින් පස්සෙ මං ඔයාගේ අප්පච්චිව මීට් උනා.. ඔයාගේ අප්පච්චි හිටියෙ මගේ අම්මාව බලන්න ආසාවෙන්.. මගේ අම්මා තරුණ කාලෙදිමයි හිතුවක්කාරකමට අපේ තාත්තිව මැරි කරලා තියෙන්න.. අම්මගෙ තාත්තා ගොඩාක් සැරයිලු. අම්මා ගෙදරින් ගියාට පස්සෙ එයා අම්මව පවුලෙන් අයින් කරල දාලා.. ඒ කාලෙ අපේ තාත්ති මේ බිස්නස්, රූ එෆ් එම් එක එහෙම පටන් අරගෙන නෑ. එයාට තිබිලා තියෙන්නෙ රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් වෙන උණක්. තාත්තිට ඒ වෙනකොටත් ප(ර්)මනන්ට් ජොබ් එකක් තිබිලා නැති හින්දයි අම්මගේ පවුලෙන් තාත්තිට අකමැති වෙලා තියෙන්නෙ..


ඒ කාලෙ තාත්තිගේ පවුල කියන්නෙත් ලොකුවටම සල්ලි තිබුණ පවුලක් නෙවෙයිලු. සල්ලි නැති හින්දම තාත්තිට තේරිලා තියෙනවා radio presenter කෙනෙක් වෙන එක ලේසි දෙයක් නෙවෙයි කියලා.. ඒ කාලෙ එයා පොඩි පොඩි ජොබ් කරන ගමන් ටිකෙන් ටික සල්ලි එකතු කරගෙන තමයි අද ඔය තියෙන රූ එෆ්එම් එක පොඩියට පටන් අරගෙන තියෙන්නේ..


ඔයාගේ අප්පච්චි අයියා කෙනෙක් විදියට අම්මට ගොඩක් ආදරෙයි කියලා මං දැනගත්තෙ අප්පච්චි එක්ක කතා කරපු පළවෙනිම දවසෙ.. හරියට ඔයාගේ අයියා ඔයාට ආදරේ කරනවා වගේ.. අම්මා ගෙදරින් යන්න ගියාට පස්සෙ එයා හැම තැනම හොයලා තියෙනවා අම්මාව ඒත් හොයාගන්න පුළුවන් වෙලා නෑ.. පස්සෙ කාලෙක එයාට ආරංචි වෙලා තියෙනවා අම්මා සතුටින් ඉන්නවා කියලා.. අම්මගේ දෙමව්පියෝ අන්තිම කාලෙදි අම්මාව බලන්න ඕනි කියලා ඉල්ලුවලු..එතකොටත් ඔයාගෙ අප්පච්චි අම්මාව හැම තැනම හොයලා.. ඔයා දන්නවද.. ඒ දෙන්නව මං ෆස්ට් ටයිම් මීට් කරවපු දවසෙ අම්මා හොඳටම ඇඬුවා. ඔයාගෙ අප්පච්චිගෙත් ඇස්වල කඳුළු තිබුණා..."


" අභී... ඔයාගෙ අම්මා ඇත්තටම කොහෙද ඉන්නෙ..? "


" අම්මා ඉස්සර නම් හිටියෙ එපාට්මන්ට් එකක.. දැන් එයා භාවනා මධ්‍යස්ථානයක ඉන්නෙ.. එතනට යන එන අයට භාවනා කරන්න උගන්නනවා.. "


" අපි අම්මාව බලන්න යමුද දවසක..."


අභිමාන මගේ ඔලුව අතගෑවා. 


" අනිවාරෙන් යමු.. ඉක්මනින්ම යමු අම්මව බලල එන්න..අහ්.. මේ දවස්වල අම්මා නංගිව බලන්න නිතරම එනවා.. නංගි එයාව දැක්කාමත් කලබල කරනවා යෙශී.. මට විතරයි පොඩ්ඩක් හරි කන්ට්රෝල් කරන්න පුලුවන්..


ඉතිං.. මං ඔයාලගෙ ගෙදරට ප්‍රපෝසල් එක ගෙනාවම එයාලා කැමති උනා.. මං ඔයාට ළං වුනේ ඔයාව නංගිට ළං කරලා එයාව හිනස්සලා සතුටින් තියන්න බලාපොරොත්තුවෙන්.. ඒත් නොහිතපු විදියට මමත් ඔයාට ආදරේ කරන්න ගත්තා යෙශීමා.. ඔයාගෙ තියෙන ඔය හුරතලේට ආදරේ හිතෙන්නෙ නැති කොල්ලෙක් ඉන්නවා නම් ඌ ෆීලිං නැති එකෙක් වෙන්නෝන.. 


මං ඉක්මනට ඔයාව මැරි කලේ කොහේ හරි ඉන්න පොලොස් කොට්ටෝරුවෙක් ඇවිල්ලා ඔයාව උස්සගෙන ගියොත් මට තවත් ජීවත් වෙලා වැඩක් නැති හින්දා.. ඇත්තටම යෙශීමා මං හිතුවෙ නෑ.. මං මේ තරම් කෙල්ලෙක්ට ආදරේ කරයි කියලා.. මේ සිද්ධියේදියි මං දැන ගත්තේ..මං ඔයාට කොච්චර ආදරේද කියලා.. 


මේ සිද්ධිය වෙන්න කලින් මං උදේම ගෙදරින් ආවෙ හොස්පිට්ල් එකට.. නංගිගෙ තත්වෙ එන්න එන්නම සීරියස් කියලා ඩොක්ටර්ස්ලා මට කියලයි තිබුණෙ.. එයා උදේ පාන්දරම නැගිටලා මාව හොයනවා..මං ලෑස්ති වෙනකම් ෆෝන් එකෙන් එයා එක්ක කතා කරනවා.. මං නැතිවුනාම කෑගහලා දඟලලා කලබල කරනවා.. මං දන්නවා පණ.. මගෙ කෙල්ලට ගොඩක් අප්සෙට් යන්න ඇති ඒවාට.. කොහොමද ඒවා දාඅගෙන හිටියෙ කියලා මං අහන්නෙ නෑ.. ඔයාව තවත් රිද්දන්න මට බෑ.. මට සමාවෙන්න සුදු මැණික.. ආයෙ කවදාවත් එහෙම රිද්දන්නෙ නෑ ඔයාව.."


අභිමාන මගෙ මූණ අතකින් අල්ලගෙන මුළු මූණම ඉම්බා.


" අභි..මා..න.."


" ම්..."


" අයැම් සොරි.. කිසිම දෙයක් ගැන හොයන්නේ බලන්නේ නැතුව ඔයාව සැක කලාට.. ඔයාට කෑගැහුවට.. මට ගොඩක් සමාවෙන්න.. ඔයා වෙන ගර්ල් කෙනෙක්ගේ අතින් අල්ලගෙන ඉන්නවා දැක්කම ම..ට.. ඉ..ව..ස..ගෙ..න.. ඉ..න්..න..බැ..රි..වු..ණා.."


අන්තිම ටික කියලා ඉවර කරන්න කලින් මට ඇඬුණා. මං මූණ බිමට හරවගත්තා.


" අයියෝ .. මගේ හුරතල් කෙල්ල දැන් අඬන බබෙක් වෙලානෙ.. කෝ..කෝ එන්න.. පිස්සි.."


අභිමාන මාව ඇදල අරන් තුරුල්කරගත්තා.


" මං ඔයාට ගොඩාක් ආදරෙයි යෙශීමා.. ඔයාට ගොඩක් ඉරිසියා හිතිලා..නේද.. මේ අහන්න.. මං ඔයාට කවදාවත් වැරැද්දක් කරන්නේ නෑ.. ආයේ මාව මේ විදිහට දාලා යන්න එපා.. මට ඔයා නැතුව ඉන්න බෑ.. තව දෙයක් තියෙනවා ඉල්ලන්න.."


මං ඔළුව උස්සලා එයාගේ මූණ දිහා බැලුවා.


" ආයේ කවදාවත් මේ ලස්සන ඇස් වලින් එක කදුළු බින්දුවක් වත් බිමට වට්ටන්න එපා.. බබාල එකක් නෙවෙයි සීයක් හම්බවුණත් ඔයා ඉන්න ඕනේ මං ඔයාව මුලින්ම දැකපු හුරතල් දඟකාර ජීවිතේ ගැන කිසිම බරක් පතලක් නැති කෙල්ල විදියට.. එයාව අතුරුදහන් කරන්න නම් හදන්නෙපා.. මොකද මං අදින් පස්සෙ අවුරුදු ගාණක් ගිහින් උනත් ආස කරන්නෙ ඒ විසේකාර කෙල්ලට වෙන්න පුළුවන්.. කවුරු කොහොම මොනවා කිව්වත් ඔයා ඔයා වෙන්න.. වෙනස් වෙන්න හදන්නෙපා.. මට අභිමාන කියන්නත් එපා.."


" හෑ.."


මං එයා දිහා බැලුවෙ ඔල්මොරොන්දම් උන කැලෑ පූසියක් වගේ.


" ඔව්.. මට ඔයා ආසම නම කියලා කතා කරන්න.."


හුටා.. ඒක මගෙ මොළ ගෙඩියට ඉක්මනට ඩව්න්ලෝඩ් උනේ නෑනෙ.


" මොකක්ද අනේ.. මතක නෑ..නේ.."


" බෙලෙක් කටා.. ! කියනවා නේද...? "


මං ඇහැක් ගහලා හයියෙන් හිනා වෙලා එයාට තුරුල් වෙන ගමන්ම හා කියලා ඔලුව වැනුවා.


" මං මගෙ අහිංසකීව ඇඬෙව්වා නේද රත්තරං.. ආයෙ කවදාවත් ඔයාව අඬවන්නෑ මං.. හොඳද.. ආයෙ බොරුවට ඒවා මේවා හිතාගෙන ඇඬුවොත් එහෙම අපේ බබාට කියලා අනිනවා ටොක්කක් ඔලුව හිල්වෙන්නම.."


අභිමාන අන්තිම ටික කිව්වෙ මගෙ බඩ උඩින් එයාගෙ අත තියලා.


" ඔයා ගේ ඇතුළෙ හැංගිලා ඉන්නකොට මෙයාව මතක් උනේ නැද්ද යෙශීමා..? එයාට බඩගිනි ඇති කියලා හිතුණෙ නැද්ද.. කොහොමද පණ ආදරේ වෙනුවෙන් ඔච්චර දුක් වින්දෙ..? අනේ මගෙ අහිංසකී.. 😢😢 ඔයාට මොනවාහරි උනා නම් මං කොහොමද ඉවසන්නෙ..? "


අභිමාන මාව එයාගෙ ඇඟට තදකරගෙන හිමීට දෙපැත්තට වැනුණා. 


" ඔයා දැන් අම්මි කෙනෙක් යෙශීමා.. හිතාගන්නත් බෑ මෙච්චර ඉක්මනට.. මං ආදරෙයි ඔය දෙන්නාටම.. පොරොන්දු වෙන්නම් මං ඔයාව ආදරෙන් බලාගන්නවා යෙශීමා.. මේ චූටි දඟමල්ලත් එක්කම.. මං ඔය දෙන්නටම ආදරෙයි.."


එයා ඒවා කියනකොට මගෙඇස් වලට කඳුළු ගලාගෙන ආවා. මං කරලා තියෙන්නෙ මොන තරම් වැරැද්දක්ද කියලා මට හිතුණා. 


" අභී..."


" ම්...."


" මට නංගිව බලන්න යන්න ඕනි.."


" ඔයාට තාම ඇවිදින්න බෑ මැණික.. අපි ඩොක්ටස්ලාගෙන් අහලා යමු..හොඳද.."


" හරි.. ඊට කලින්..."


" ඔව්.. ඊට කලින්..? මොකක්ද..? "


" මට බඩ පැලෙන්න කන්න ඕනි..😝😝😝 බඩේ පණුවන්ට බුෆේ සංග්‍රහයක් දෙන්න ඕනි.. මට කෑම ගෙනත් දෙන්නකෝ...ඕ....ඕ..ඕ...."


මං අභිමානව අතෑරලා දණහිස් නවලා ඇඳ උඩ දණගහගෙන අත් දෙක දෙපැත්තට දාලා උස්සගෙන කෑගැහුවා. මගෙ සද්දෙට අම්මලත් රූම් එකට ආවෙ කලබලෙන් වගේ.


" මොකද දෝණි.. දෙයියනේ අපි බයවුණා.."


අම්මා පපුවට අතක් තියාගෙන හති දානවා. මට හිනා.


" යෙශීමාට කන්න ඕනිලු අම්මා.. මං ඉක්මනින් අරන් එන්නම් මොනාහරි.."


එහෙම කියලා අභිමාන මගෙ පැත්තට හැරුණෙ ගොඩක් සතුටින්.


" මගෙ මැණිකට මොනවද කන්න ඕනි..? "


" ආ..නේ.. ඔයා මට අද මැණික කිව්වා.. පණ කිව්වා.. රත්තරං කිව්වා.. මට ගොඩා........ක් සතුටුයි මගෙ බෙලෙක් කටෝ..."


මං එයාගෙ මුණ දෙපැත්තෙන් අල්ලලා හෙලෙව්වා. එයා මගෙ අත් දෙක අල්ලගත්තෙ හිනාවෙවී. 


"මොනවද ඕනි කියන්නකො.. බබීගෙනුත් අහලා කියන්න මොනවද එයාට ඕනි කියලා.."


" ම්... චුට්ටක් ඉන්න.."


එහෙම කියලා මං ටිකක් වෙලා සද්ද නැතුව හිටියා.


" ම්.. මගෙ ආදරණීය ප්‍රීතිමත් බෙලෙකෝ.. බබී කියනවා එයාට මේ වෙලාවෙ ඕනිලු පීසා හට් එකේ උණු උණු මීඩියම් පීසා එකක් එක්ක ෆ්‍රයිඩ් රයිස් එකක්.. ඒවා එක්ක තව චීස් ටින් එකක්ම ඕනිලු.. ම්.. ත..ව.. පෙප්සි එකකුත් ඕනෙලු බොන්න.. අනේ.. ඊට පස්සෙ ඩෙසර්ට් එකට කන්න ෆෘට් සැලඩ් එකකුයි ෆලූඩා එකකුත් ඕනෙලු.. දැනට නම් ඔය ටික ඇතිලු.."


" අනෙ අම්මෝ.. සිහිය නැතුව හිටපු සතියටම හරියන්න දැන් ඉතිං කාපං මයෙ අම්මා.."


හැමෝටම හිනා. අභිමාන එහෙම කියලා හිනාවෙවී රූම් එකෙන් එළියට ගියෙ අයියත් එක්කගෙනමයි. පැය බාගෙකින් විතර අභිමාන ආයෙ ආවෙ ගමේ යන්න ලෑස්ති වුණ පුත්තලම් බූරුවෙක් වගේ කටේ කණේ අතේ පයේ හැමතැනම කෑමඑල්ලගෙන.


~ යලි හමුවෙනතුරු ~ 


Report Page