⭕️❌

⭕️❌

Dasantha Amarasinghe

ග්ලීකෝ – මොරිනාගා සිද්ධිය : ජපානයේ මෙතෙක් සිදු වූ විශාලතම අබිරහස

මුහුණු විසිඑකක් ඇති පුද්ගලයාගේ අබිරහස එහෙමත් නැත්තන් ග්ලීකෝ – මොරිනාගා සිද්ධිය කියලා හඳුන්වන මේ අබිරහස 1984 සහ 1985 කාලයේදි ජපානයේ රසකැවිලි නිෂ්පාදන සමාගම් දෙකක් වෙන Ezaki Glico සහ Morinaga කියන සමාගම් දෙක සම්බන්ධව තමා සිද්ධ වුණේ. අද මේ ලිපිය ලියන දවස වෙනකොටත් මේ සිද්ධිය අභිරහසක්ම විතරයි.


ඒ විදිහට මේ Ezaki Glico Co. Ltd කියලා කියන්නේ ඇමරිකාව ආසියාව යුරෝපය කියන ප්‍රදේශවල රටවල් තිහක් එක්ක වගේ ගනුදෙනු කරන ජපානයේ Osaka නගරයේ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන ආහාර නිෂ්පාදන සමාගමක් වෙනවා.


1984 වගේ කාලයේදී මේ සමාගම ice cream වල ඉඳන් හැම්බර්ගර් වලට දාන මස් පෙති වෙනකන් ආහාර වර්ග වගේම චොකලට්, පුඩිං , කැරමල් වගේ කඩචෝරුත් විශාල වශයෙන් නිෂ්පාදනය කළා. මේ හැමදේම නිෂ්පාදනය කරන්න ඔවුන් ශරීරයට ගොඩක් ගුණදායක බෙල්ලන්ගෙන් නිෂ්පාදනය කරපු ග්ලයිකෝජන් තමා පාවිච්චි කලේ.


මේ සමාගම ගොඩක් හොඳින් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ආවත් 1984 අවුරුද්දේ ඉඳන් ඔවුන්ගේ අනාගතය කණපිට පෙරළුනා. ඒ විදිහට හරියටම 1984 අවුරුද්දේ මාර්තු මාසයේ 18 වෙනිදා තමයි මේ නරක කාලය ආරම්භ වුණේ.


1984 මාර්තු 18 වෙනිදා රාත්‍රී 9ට වගේ හොඳින් ඇඳුම් ඇඳගත්ත වගේම මුහුණ වෙස් මුහුණු වලින් ආවරණය කර ගත්ත පුද්ගලයෝ කිහිප දෙනෙක් Katsuhisa Ezaki කියන Glico සමාගමේ අයිතිකරුවාගේ නිවසට ඇතුල් වෙලා ඔහුව පැහැරගෙන ගියා.


මුලින්ම මේ වෙස්මුහුණු දාගත්ත පුද්ගලයෝ මේ Katsuhisaගේ නිවසට ආසන්නයේ තියෙන ඔහුගේ මවගේ නිවසට ගිහින්, ඒ නිවසෙන් Katsuhisaගේ නිවසට ඇතුල් වෙන්න යතුර හොරකම් කරගෙන, Katsuhisaගේ නිවස ඇතුලට ඇතුළට යනකොට ඔහු තමන්ගේ ළමයි එක්ක ස්නානය කරන ගමන් ඉදල තියෙනවා.


මුලින්ම මේ Katsuhisa තමන්ගේ නිවසේ දේවල් හොරකම් කරන්න මොවුන් ඇවිල්ල තියෙනව කියල හිතුවත්, පස්සේ තමන්ව ඇදගෙන යනකොට ඇත්තටම ඔවුන් ඇවිල්ල තියෙන්නේ ඒකට නෙවෙයි කියලා පැහැදිලි වුණා. මොහු ඒ අවස්ථාවේ උදව් ඉල්ලන්න සූදානම් වුණත් මේ වෙස් මුහුණු දාගෙන ඉන්න පුද්ගලයෝ ඒ වෙනකොටත් ඔහුගේ බිරිඳ, ළමයින් ගේම අල්ලපු නිවසේ ජීවත් වෙන මවවත් ගැට ගහලා ඉවරයි. ඒ වගේම ඔවුන් මේ නිවසට දුරකතන සම්බන්ධතාවය ලබා දෙන රැහැන් පවා කපල දාල තිබිල තියනවා.


පසුව මේ පුද්ගලයව වෑන් රථයකට දාගත්ත ඒ නාදුනන මිනිස්සු කණ්ඩායම ඔහුව Ibraki කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන පාළු ගබඩාවකට තමා අරගෙන ඇවිත් තිබුනේ. එතන ඉඳන් අර මේ පුද්ගලයාගේ සමාගමේ අනිත් අධ්‍යක්ෂකවරුන්ට කතා කරපු මේ මිනිස්සු කණ්ඩායම මොහුගේ නිදහස් කරන්න අවශ්‍ය නම් යෙන් මිලියනයක් සහ රත්තරන් කිලෝග්‍රෑම් 100ක් කප්පම විදිහට ඉල්ලලා තිබුණා.


හැබැයි මෙහෙම ඔහුව පැහැරගෙන ඇවිත් දවස් දෙකක් ගත වුණාට පස්සෙ ඒ මිනිස්සු කණ්ඩායමේ බලාපොරොත්තු සේරම බොඳ වෙන විදිහට මේ Katsuhisa අර පාළු ගබඩාවෙන් පැනලා එන්න සමත් වුණා. මෙතනින් එහාට හැමදේම අවසාන වෙලා අර මිනිස්සු කණ්ඩායම පොලිසියට අල්ලගන්න පුලුවන් වෙයි කියලා හැමෝම හිතුවත් ඒ දේ එහෙම වුණේ නෑ.


හරියටම මේ සමාගමේ අයිතිකරුවා පැනලා ඇවිත් සති තුනකට පස්සෙ, ඔහුගේ මේ සමාගම ඉස්සරහ ඉස්සරහ නවත්තලා තිබුණ වටිනා වාහන හයක් හදිසියේම ගිනි ගැනීමකට ලක් වෙලා විනාශ වෙලා ගියා. ඒ වගේම මේ සිදුවීමෙන් දවස් හයකට පස්සෙ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පිරුණ භාජනයක් සහ මේ සමාගමේ අයිතිකරුට තර්ජනය කරලා ලියපු සටහනක් පොලිසියට මේ පුද්ගලයව පැහැරගෙන ගිහින් සගවලා තියාගෙන හිටපු ගබඩාව ඇතුළෙ තියලා තියෙද්දි හම්බෙලා තිබුණා.


ඒ එක්කම ජපානය පුරාම තියෙන පුවත්පත් සමාගම් වලට එකම මෙහි සඳහන් කරලා තිබුන ලියුමක් ගිහින් තියෙනවා. පොලිසිය එච්චරම දක්ෂ නම් මේ වෙනකොට අර පුද්ගලයව පැහැරගෙන ගියපු අපිව අල්ලගන්න එපැයි කියලා උපහාසාත්මක දෙයක් තමයි මේ ලියුමේ සටහන් වෙලා තිබුනේ.


ඒ වගේම ඔවුන් මේ ලියුමේ, ඔවුන් පැහැරගැනීම කරන්න පාවිච්චි කරපු වෑන් රථය අළු පාට එකක් කියලා වගේම දවස් ගානක් පුරාවට අපි ආහාර මිලට ගත්තේ Daiei කියන සුපිරි වෙළඳසැලෙන් කියලත් පොලිසියට සාක්ෂි ලබා දීලා තිබුණා. ඒ වගේම මේ ලියුම අවසානයේ අත්සන විදිහට Kaijin nijuichi menso කියලා වචන තුනක් ලියලා තිබිලා තියෙනවා. මේ වචන තුන ඉංග්‍රීසියට පරිවර්තනය කළාම තමයි ආසන්න වශයෙන් මුහුණු විසි එකක් ඇති රාක්ෂයා කියන තේරුම ලබාදෙන්නේ.


ඊට පස්සේ මේ නමින් මොකක් හරි සාක්ෂියක් ලබාගන්න පුළුවන්ද කියලා හිතපු පොලීසිය, මානව විශේෂඥයෙක් ගෙනල්ලා මේ නම පරික්ෂා කරන්න තීරණය කළා. එතකොට තමයි මේ Marilyn Ivy කියන මානව විශේෂඥවරිය මේ නම ඔවුන් ලබාගෙන තියෙන්නෙ රහස් පරීක්ෂක නවකතා කරුවෙක් වෙන Edogawa Rampo කියන පුද්ගලයාගේ පොතකින් කියලා හොයා ගත්තේ.


ඒ කාලේ වෙනකොට මේ මුහුණු විසි එකක් ඇති රාක්ෂයාගේ සිද්ධිය මුළු ජපානය පුරාම ප්‍රසිද්ධ වෙලා, මිනිස්සු එදිනෙදා දේවල් අනිත් අය එක්ක කතා කරන අවස්ථා වලත් මේ සිද්ධිය ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඉදිරි මාස වලත් අර පළවෙනියට ඔවුන් ලියපු ලිපියට සමගාමී ලිපි විදිහට නොමඟ යැවීම්, පොලීසියට අපහාස කිරීම් වගේ දේවල් ලියපු ලිපි දුසිම් ගානක් එවලා තියෙනවා.


හැබැයි එකපාරටම දවසක් මේ වැඩේ සිදුකරන කල්ලියේ පුද්ගලයන් කෙලින්ම පොලිසියට කතා කරලා, ඔවුන් මේ Glico සමාගමේ කඩචෝරුවල කාටවත් නොපෙනෙන විදිහට සයනයිඩ් හංගල ඒවා සුපිරි වෙළඳසැල්වල රාක්ක වල තිබ්බ කියලා දැනුම් දුන්නා. මේක ඇත්තනම් ගොඩක් භයානක දෙයක් වෙන්න පුලුවන් නිසා Glico සමාගම තමන් වෙළඳපොළට නිකුත් කරපු කඩචෝරු හැම එකක්ම ආපහු සමාගමට කැඳවලා පරික්ෂා කරලා බලන්න තීරණය කළා. මෙතැනදී ඒ එකකවත් cyanide නෑ කියලා තහවුරු වුණත් ඒ වෙනකොට මිනිස්සුන්ගෙ හිතේ මේ Glico සමාගමේ නිෂ්පාදන ගැන බියක් ඇති වෙලා ඉවරයි.


අන්න ඒ නිසා එකපාරටම මේ සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 21ක පාඩුවක් සිදු වුණා වගේම, සේවකයන් 450ක් සමාගමෙන් නෙරපලා දාන්නත් සිද්ධ වුණා. මේ සිද්ධිවලින් පස්සේ Glico සමාගම අන්ත අසරණ තත්ත්වයට පත්වුණා වගේම පොලිසියට මේ දේ කරන කල්ලිය අල්ලගන්න කිසිම හෝඩුවාවක් තිබුනෙත් නෑ. හැබැයි එකපාරටම ආපහු වතාවක් අර කල්ලිය නිකුත් කරපු ලිපියකින් Glico සමාගමට පොඩි අස්වැසිල්ලක් ලැබිලා තියෙනවා.


ඒ විදිහට ජූනි මාසයේ 26වෙනිදා නිකුත් කරපු මේ ලිපියෙන් Glico සමාගමේ අයිතිකරුවා අපි කරපු දේවල් වලින් ගොඩක් විඳවපු නිසා අපි ඔහුට දැන් සමාව දෙන්න තීරණය කලා කියලා තමයි ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම ජපානයේ මේ දවස් වල තියෙන කාලගුණය පොඩ්ඩක්වත් අපිට හරි නැති නිසා අපි යුරෝපයට යනවා; එහෙම යන අතරේ අපිත් ආහාරයට ගන්නේ Glico සමාගමේම කඩචෝරු තමයි කියලා මේ ලිපියේ ලියලා තිබුනා. ඒ වගේම ආපහු අපි ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ හමුවෙමු කියලා අවසාන වශයෙන් මේ ලිපියේ සඳහන් වෙලා තියනවා.


හැබැයි හැමෝගෙම බලාපොරොත්තු සුන් කරලා මේ අභිරහස් පුද්ගලයෝ ජනවාරි මාසය වෙන්න කලින් ආපහු මතුවුණා.


ඒ විදිහට සැප්තැම්බර් මාසයේදී මේ අභිරහස් ලියුම් ලියන පුද්ගලයා ජපානයේ තියෙන තවත් ප්‍රසිද්ධම ආහාර නිෂ්පාදන සමාගමක් වෙන Morinaga කියන සමාගමට තර්ජනාත්මක ලියුම් කිහිපයක් ලියලා ඇමරිකානු ඩොලර් 400,000ක මුදලක් ඉල්ලලා තියෙනවා. මේ ලියුම් අර සමාගම ගණන් ගත්තේ නැති නිසා කවුරු වුනත් මේ අභිරහස් පුද්ගලයා මුළු ජපානයේම ඉන්න මව්වරුන්ට ලිපි නිකුත් කරලා මෙන්න මෙහෙම දෙයක් කියලා තිබුණා.


” මුළු ජපානයේ ම ඉන්න මව්වරුන් වෙත;


සරත් සෘතුවේදි අපේ ආශාවන් ප්‍රබල වෙලා පැණි රස කෑම ජාති ගොඩක් රස දේවල් කියලා දැනෙනවා. මේ පැණි රස දේවල් ගැන කතා කරනකොට වැඩියෙන්ම මතක් වෙන නම තමයි Morinaga කියලා කියන්නේ.


අන්න ඒ නිසා අපි ඔබ වෙනුවෙන්ම විශේෂ රසයන් කිහිපයක් කඩචෝරු වලට එකතු කළා. පොටෑසියම් සයනයිඩ් කියන මේ රසය ටිකක් විතර තිත්තයි. හැබැයි කවදාවත් මේකෙන් ඔබේ දරුවාගේ දත්වලට හානි වෙන්නේ නෑ. අන්න ඒ නිසා මේ කඩචෝරු වර්ගය අනිවාර්යෙන් ඔබ මිලට ගන්න. අපි මේ විශේෂිත රසයේ කඩචෝරු අසුරලා තියන පෙට්ටි වල විෂ වර්ගයක් අඩංගු වෙනවා කියලා සටහන් කරලා තියෙනවා. ඒ වගේම මේ පෙට්ටි ජපානයේ Hakata වල ඉඳන් Tokyo වලට යනකන් සුපිරි වෙළඳසැල් වලින් ඔබට මිලට ගන්න පුළුවන්. “


ඊට පස්සේ ඉක්මනින්ම විමර්ශනයක් ආරම්භ කරපු පොලිසිය ජපානය පුරාම සුපිරි වෙළඳසැල් පරික්ෂා කලාම ඔවුන්ට එක්තරා කඩචෝරු වර්ග කිහිපයක විතරක් “අන්ත්‍රාවයි විෂ වර්ග අඩංගු වේ. ඔබ මෙය කෑවොත් මියයයි” කියලා ලේබලයක් අලවපු කඩචෝරු පෙට්ටි විස්සක් හොයාගන්න පුළුවන් වුණා. මේ පෙට්ටි හැම එකකමත් අලවලා තිබුන ලේබලයේ අත්සන විදියට මුහුණු විසි එකක් ඇති මිනිසා කියලා තමා සඳහන් කරලා තිබුණේ. කලින් පාර වගේම මේ කඩචෝරු වලත් විෂ තියෙනවා කියලා බොරුවට සඳහන් කරලා තියෙනවද කියලා බලන්න පොලිසිය මේවා පරීක්ෂා කළාට පස්සේ ඇත්තටම මේ කඩචෝරු වල සයනයිඩ් තියනවා කියලා තහවුරු වුණා.


මේ හේතුව නිසා ඉක්මනින්ම Morinaga කඩචෝරු මිලට ගන්න මිනිස්සු සංඛ්‍යාව පහත වැටිලා සමාගමට විශාල වශයෙන් පාඩු වෙන්න පටන් ගත්තා. ඒ වගේම සුපිරි වෙළඳසැල් වලින් මේ සමාගමේ නිෂ්පාදන ආපහු මිලට ගත්තොත් ඊළඟ වතාවෙ කිසිම ලේබලයක් සඳහන් කරන්නේ නැතුව මේ විෂ අඩංගු කරපු කඩචෝරු ආපහු වතාවක් තැන්පත් කරනවා කියලා මේ අභිරහස් පුද්ගලයා කවුරු වුනත් තර්ජනය කරලා තියනවා.


අන්න ඊට පස්සේ මේ සමාගමට අති විශාල වශයෙන් පාඩු වෙන්න පටන් අරන් ඔවුන්ගේ කීර්ති නාමයත් Glico සමාගමේ වගේම විනාශ වෙලා ගියා. ඒ අතරින් මේ අභිරහස් පුද්ගලයා ජපානයේ තියෙන තවත් ආහාර සම්බන්ධ සමාගම් වලට ලියුම් යවලා මුදල් ඉල්ලලා තියෙනවා.


මේ අතරේ 1985 අවුරුද්දේ අගෝස්තු මාසේ හත්වැනිදා මේ සිද්ධි නිසා දරුණු දෙයක් සිදුවුණා. ඒ විදිහට මේ තරම් දේවල් කරලත් පොලිසියට තාමත් මේක කරන පුද්ගලයන්ව අල්ලගන්න බැරිවුනානේ කියලා මහජනතාවගෙන් වගේම තවත් පැති වලින් විශාල බලපෑම් එන්න පටන් ගත්ත නිසා, ජපානයේ පොලිසියේ එකල අධ්‍යක්ෂකවරයා වෙන Yamamoto කියන පුද්ගලයා තමන්ගේ ඇඟට පෙට්‍රල් හලාගෙන ගිනි තියා ගත්තා. මේ සිද්ධිය නිසා මුළු ජපානයම කම්පනයට පත් වෙලා ගිහින් තියෙනවා.


මේ ඇතිවුන සිද්ධිය නිසා අර මුහුණු විසි එකක් ඇති මිනිසා විදිහට පෙනී ඉන්න පුද්ගලයා පවා කම්පනයට පත්වෙලා අවසාන වතාවට ලියුමක් නිකුත් කරලා තමන් කරපු හැමදේම නවත්තලා දාලා තියෙනවා. ඒ අවසාන ලිපියේ මෙහෙම දෙයක් තමා සඳහන් වෙලා තිබුණේ.


“අපි වගේ නරක පුද්ගලයින්ට නරක වැඩ කරලා පැනලා යන්න ඉඩදෙන්න එපා. අපි කරපු දේවල්ම කොපි කරන ගොඩක් මෝඩ අය මේ වෙනකොට ජපානයේ බිහිවෙලා තියෙනවා. Yamamoto නියම මිනිහෙක් විදිහට තමයි මියගියේ. ඒ නිසා ඒකට අපි අපේ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම ආහාර ආශ්‍රිත සමාගම් වලට වද දෙන එක නවත්තලා දාන්න අපි තීරණය කළා.


අපි විදිහටම කවුරු හරි කෙනෙක් ලියුම් ලියලා ආහාර සමාගම් වලට ඉදිරියට තර්ජනය කළොත්, ඒ අපි නෙවෙයි අපිව කොපි කරන්න හදන මෝඩයෝ පිරිසක් විතරයි. අපි තමයි ඇත්තම නරක මිනිස්සු. අපිට නිකන් සමාගම් රවට්ටනවට වඩා කරන්න වෙන වැඩ තියෙනවා. නරක මිනිහෙක් විදිහට දිවි ගෙවන එකත් හරි අපූරු වැඩක්. “


එදා ඉඳන් අද මේ වෙනකන් මේ අභිරහස් මිනිසා කරපු දේවල් වලට වරදකාරයා කියලා කිසිම කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන නෑ. හැබැයි එකම එක වතාවක සුපිරි වෙළඳසැලක වීඩියෝ කැමරාවක එක්තරා සැක සහිත පුද්ගලයෙක්ව සටහන් වෙලා තිබුනා. ඔහුව පොලිසිය වගේම මිනිස්සු කැමරාවේ පටිගතවූ මිනිසා කියලා තමා හැඳින්නුවේ.


Glico සමාගමේ චොකලට් වල සයනයිඩ් තියෙනවා කියලා ලියුම් ඒ සමාගමට ලැබුන මොහොතේ මේ පුද්ගලයා එක්තරා වෙළෙඳසැලක ඒ වර්ගයේ චොකලට්ම රාක්ක වල අසුරනවා තමයි කැමරාවේ සටහන් වෙලා තියෙන්නෙ.


මොහුව අල්ලගන්න පොලිසිය වතාවක් වෙස් වලාගත්ත පොලිස් නිලධාරියෙක් අතේ යෙන් මිලියන 50ක් යවලා, Marudai කියන ප්‍රදේශයේ මේ අභිරහස් පුද්ගලයා එක්ක හමු වීමක් පවා වෙන් කරගත්තා. මේ පොලිස් නිලධාරියා තනියම ඒ ස්ථානයට යනකොට හොඳින් වැඩුණ හැඩිදැඩි පුද්ගලයෙක් සැක සහිත විදිහට වටපිට බල බල ඉන්නවා පොලිස් නිළධාරියා නිරීක්ෂණය කරලා තියනවා. එදා පොලිසිය ඔහුගේ පස්සෙන් රහසේම ගියත් ඔහුට පොලිසිය මඟ හරින්න පුළුවන් වෙලා තියෙනවා.


අන්න ඒ නිසා පසුව පොලීසිය මේ Glico-Morinaga අබිරහස එහෙමත් නැත්තන් නිල විදිහට පොලීසියෙන් Metropolitan Designated case 114 කියන පරීක්ෂණය සම්පූර්ණයෙන්ම අතහැරලා දාපු පරීක්ෂණයක් බවට පත් කළා. මේ තරම් අභිරහස් දේවල් විශාල සංඛ්‍යාවක් කරපු කෙනා කවුරු වුනත් ඒ විදිහට පොලිසියට ඔහුව අල්ලගන්න පුළුවන් වුණේ නෑ. හැබැයි මේ සිද්ධිය මිනිසුන්ගේ හිතේ නම් විශාල කාලයක් පුරාවට ජපානයේ එදා මෙදා තුර සිදුවුන විශාලතම අබිරහස විදිහට පැවතුනා. ඔහු තාමත් ජීවත් වෙලා ඉන්නවනම් ඔබ මේ ලිපිය කියවනවා වගේම ඔහුත් තමන් ගැන කියවෙන මුහුණු විසි එකේ මිනිසාගේ අබිරහස කොහෙට හරි වෙලා කියවනවා ඇති.


උපුටා ගැනීම අන්තර්ජාලයෙන්


Report Page