❤️❤️❤️💑

❤️❤️❤️💑


රුහුණ විශ්වවිද්‍යාලය වටා ගෙතුන පුංචි ආදර අන්දරයක්...❤️


වැකේශන් ඉවර උන නිසා කතාවක් දාන්න වෙලාව මදි උනා. ඉතින් ටිකක් පරක්කු උනා.🙈


ඔන්න ඉක්මනට කියවන්න හදිස්සියෙ හිටපු කට්ටියට කතාවක් ගෙනාව....😉❤️



රුහුණෙ අහස වෙනදා වගේම මං දිහා බලල හරි ලස්සනට හිනා උනා. සඳලුතලේ උනත් ලොකු වෙනසක් තිබුනෙ නෑ.


ඈත මුහුදෙන් එහාට පෙනුන ක්ශිතිජය විතරක් මාව කවදාවත් නොදැනුන නොදැකපු මහ අනන්තෙකට අරන් ගියා. මං ඒ දිහා බලන් කොයි තරම් වෙලා හිටියද කියල මංවත් දන්නෑ.


ඈතම පුංචි තිතක් වගේ පෙනුන නැව තව කොච්චර දුර යයිද...


ඇයි මිනිස්සු ආදරේ කරන්නෙ...


මේ වලාකුලුවල හැඩ මොනවද...


මේ මුහුද කොච්චර ගැඹුරුද....


පලක් නැති හිතිවිලි ගොඩක මං අතරමන් උනා. ජීවිතේ හරි හිස් බවක් මට දැනුන. ඒ හිස්කම වහගන්නද කොහෙද මගෙ හිත ඉවරයක් නැති හිතිවිලි අතර අතරමං උනේ.


"සුදු අයිය මොකද කරන්නෙ තනියම...?"


ඒ ආදරණීය කටහඬ මට ඇහුනා.


මං නෑහුන ගානට අහක බැලුවෙ නෑහුන නිසාම නෙමෙයි. මටත් කියල හෘද සාක්ශියක් තිබුන නිසා.


"අයියේ...."


ආයෙම නෙතුකි මගෙ අත් ගොබේට බර වෙලා කිව්වෙ මගෙ මූනට එබිකම් කරන ගමන්මයි.


"ඇයි...?"


මම ඇහුවෙ මහ නුරුස්සන හඬකින්.


"නෑ ඉතින් අයිය තනියම ඉන්න නිසා ආවෙ. පාලු නෑ?"


"නෑ..!


මට පාඩුවෙ ඉන්නෝන නිසා මෙතනට ආවෙ... ඇයි? "


මම ඒ තරම් නපුරු වෙන්නැත්තෙ ඒ නපුරුකම් නෙතුකි ගහක් ගලක් ගානට දරාගත්තු නිසා වෙන්නෝන. මං රිද්දන්න පුලුවන් හැමවෙලේම අඩුවක් නැතුවම නෙතුකිට රිද්දුව.


මං පොඩිම දේටත් හේතුවක් නැතුව කෑගැහුව.


නෙතුකි මූණ බිමට බර කරගෙන. බෝල ඇස්වල කඳුලු පිරිල. කොච්චර බැනුම් ඇහුවත් ටිකට ඇස්වල කඳුලු. පොඩි එකෙක් වගේ හිමි හිමීට ලඟ ලඟ අඩි තිය තිය යන්න ගියා ඒ මම ආයි කතා කලොත් ඉක්මනට මං ලඟට දුවල එන්න කියල හිතල වෙන්නෝන. මම එයාට යන්නම දීල අහක බලාගත්ත.


ඔය ගියාට ඕව අමතක වෙලා ආයි මගෙන් බැනුම් අහන්න එන එක නෙතුකිට පුරුදුයි.


මං කොච්චර හේතුවක් නැතුව කෑගැහුවත් නෙතුකිට මාව එපා උනේ නෑ.


මං ආයෙම හැඟීමක් නැතුව උමතුවෙන් ක්ශිතිජයට ඇස් බර කලා.


ඒ ටිකට ක්ශිතිජය වෙනස් වෙලා. අමුතුම පාටක්. ටිකකට කලින් වලාකුලු දිහා බලන් මං මවන්න හදපු රූප ඔක්කොම වෙනස් වෙලා.


වෙනස් වෙන ක්ශිතිජෙත් හරියට මං වගේ. ඒ දිහා වෙනස් නොවී හැමදාම බලන් ඉන්න මං නෙතුකි වගේ.


විකාර හිතිවිලිවලින් හිත අට්ටි ගැහිල.


ආයෙම පුරුදු හිස්කම දැනෙන්න ගත්ත. අපරාදෙ නෙතුකිට බැනල යැව්වෙ. මට ඒ පාර හිතුන.


.


.


.


නෙතුකි විතාන.


මීට හරියටම අවුරුද්දකට කලින් එයාව මට මුනගැහුනෙ.


මම මැනේජ්මන්ට් ෆැකල්ටියෙ එයා සයන්ස්.


මම ඉලක්කම් හර බැර අතරෙ ඔට්ටු වෙද්දි එයා හදවතේ රුධිර නාලිකාවක් ගානෙ හරි සුරුවමට ගලපගත්තා. පොත පතේදි විතරක් නෙමෙයි. මගෙ පපුතුර උඩදිත්....


මම කියන්න කලින් එයා දැනගත්ත මගෙ පපුවෙ දුකක් තියනව නම්. මට එයාව ඕන වෙන වෙලාව මටත් වඩා හොඳට එයා දැනගෙන හිටියා. ඒ ඔක්කොටමත් වඩා එයා මාව දරාගත්ත. මගෙ කේන්තිය මගෙ රැවිලි ගෙරවිලි නපුරුකම් හැමදේම..


ගෙදර ඉඳන් එයාගෙ අතින්ම උයල කෙසෙල් කොලේ ලොකු බත් ගෙඩියක් බැඳන් ඇවිත්, ලොකු වැඩක් කරපු පොඩි එකෙක් වගේ මගෙ අතට ඒක දීල ඉනට අත් දෙක තියන් සුවඳයි නේද නංගි ඉව්වෙ කියල බෝල ඇස් නටව නටව කියවන එකේ ඉඳල එයාගෙ හැමදේකටම මං හරි ආස කලා.... නොපෙන්නුවට....


මං ඒව වින්දා...


අතේ සල්ලි නැතුව රැවුල කොන්ඩෙ වවාගෙන ඉද්දි වචනයක්වත් නාහ මෙච්චර රිද්දන මං අතට සල්ලිත් දීල කපන්නෝන කට් එකත් ඩවුන්ලෝඩ් කරල පෙන්නල මාව සැලොන් එකට යවන කෙල්ලට පිස්සු එක අතකට.


මගේ සාක්කුවෙ ලයිටර් එකක් එහෙම තිබ්බොත් එදාට මං ඉඳල ඉවරයි. මං එපා වෙනව වගේ අහන් හිටියට මොකද ඒ බැනිල්ලට මං හෙන ආසයි. මොකද මේ ලෝකෙ මොකෙක්ට හරි මං ගැන කැක්කුමක් තියනව කියල දැනෙද්දි ඊලඟ දවසෙ සිගරට් පැකට් එකක්ම සාක්කුවෙ දාන් එන්න හිතෙනව.


ඩිග්රිය ගැන මෙලෝ උවමනාවක් නැතුව හිටපු මගෙ කනෙන් ඇද ඇද මගෙ නෝට් කම්ප්ලීට් කරන නෙතුකි ගැන මට වෙලාවකට පුදුම හිතුනා.


එග්සෑම් ලං වෙද්දි මං ලඟ හරි ක්ලිය මුතු කැට අකුරෙන් ලියපු නෝට් තිබුන හැමදාම ලෙක්ච යන උන් ලඟවත් නැති තරම් පිලිවෙල.


මම කවදාවත් ඒවට එයාට තෑන්ක් කලේ නෑ. මං බය උනා.


ඕව නැති උන දවසක දරාගන්න පුලුවන් තරමට මං හිත ගල් කරගෙන හිටියා.


ඇත්තම කතාව මං නිසා එයාගෙ ඇස්වල කඳුලු පිරෙනව දැක්කම ඒ ආදරෙන් මම සතුටු උනා. අමුතු ඇති. ඒත් ඒ මම. ගල් වෙලා තිබුන මගෙ හිත නෙතුකිගෙ ආදරෙන් සතුටු උනේ එහෙමයි. මට රිදුන හැම තැනම මං එයාගෙන් පියවගත්තෙ එහෙමයි.


මම මැනේජ්මන්ට් එකේම මගෙ බැජ් එකේ පබසරා එක්ක කැම්පස් එන්න කලින් ඉඳලම අවුරුදු හතක කොක්කක් ගහල තිබ්බෙ. ඒ කාලෙ මම බයෝ කරන්න කොයි තරම් ආසාවෙන් හිටියත් අම්ම තාත්තගෙත් බලාපොරොත්තු ඔක්කොම අහක දාල බයෝ නොකර මං අකමැතිම කොමස් කලෙත් පබසරාව හැමදාම බලන්න තිබ්බ ඕනකමටමයි.


පොඩි ඉස්කෝලෙ ඉඳලම හැමදාම හැමවෙලේම ලඟ හිටපු පබසරාව මොහොතකටවත් නැති කරගන්න මට ඕන උන්නෑ.


මට වැඩි වත්පොහොසත්කම් නොතිබුන නිසාම පබසරාගෙ ගෙවල්වලින් මට වැඩි කැමැත්තක් නොතිබුනත් අපි ගොඩක් ආදරෙන් හිටියා.


අපි දෙන්න එකටම ක්ලාස් ගියා. ජීවිතේ ගොඩ දාගන්න ඕන නිසාම මමත් කොමස්වලට ගොඩක් මහන්සියෙන් වැඩ කලා ඒලෙවල්වලදි.


අන්තිමේදි අපි දෙන්නටම කැම්පස් යන්න රිසල්ට්ස් තිබුන.


අපි කතා උනේ දෙන්නම ඩිග්රිය ගත්තම ගෙදරින් ප්රශ්න නැති වෙයි කියල. පබසරා මගෙ පපුවට ඔලුව තියන් ඇහුව


"මගෙ අයිය කවදාවත් වෙනස් වෙන්නෑ නේද...?"


මම හිනා වෙලා පබසරාගෙ නලලට හරි මෘදු හාදුවක් තැවරුව විතරයි. මොකද මගෙ පපුව උඩ ඉඳන් මං දාල යයිද කියල අහනෙකම මහ මෝඩ ප්රශ්නයක් මං එයාට කරපු ආදරේ තරමෙ හැටියට... ඒ පපුවෙ තිබුන ආදරේ හැටියට....


කාලෙ ගෙවුනා.


වාසනාවද අවාසනාවද දන්නෑ...


එයාව රුහුණට තේරිලා මම කොලඹට සෙට් වෙලා තිබුන එයාගෙ ඉසෙඩ් එක ටිකක් අඩු නිසා.


අපි ගොඩක් ඈත් උනා. පබසරා ගොඩක් ඇඬුව එදා. අපිට කතා කරන්න තිබුන කාලෙ ගොඩක් අඩු උනා.


මොන දේ උනත් අපි හිත්වලින් ඈත් වෙන්නෑ කියල හිතල ඩිග්රියට හිත යොමු කරන්න අපි දෙන්නට දෙන්න පොරොන්දු උනා.


මමත් හිතේ දුක තද කරන් පබසරාගෙ හිත හැදුව...


ඒත් ඒ හැමදේම වෙනස් වෙන්න වැඩි කාලයක් ගත උන්නෑ.


කැම්පස් දෙකට ගියාට පස්සෙ අපි කතා කරපු කාලෙ අඩු උනා විතරක් නෙමෙයි කතා කරපු වෙලාවෙවත් කලින් තරම් ආදරයක් මට පබසරාගෙන් දැනුනෙ නෑ. වචන දෙක තුනක් කතා කරල එයා ෆෝන් එක තිබ්බ පාඩම් කරන්න තියනවයි අනේක විද වැඩ කියල. අවුරුදු හතක ආදරයක් වෙනස් උනාම දැනෙන වේදනාව වචන කරන්න මං දැනගෙන හිටියෙ නෑ.


ඒ හැම වේදනාවක්ම ඉවර උනේ ලෝකෙට නොපෙන්නපු, පිරිමි පපුවක කඳුලු ගොඩකින්...


පිරිමියෙක් වෙලත් මගෙ ඇස්වලට කඳුලු ආව අවුරුදු ගානක් පුරාවට පබසරාගෙ ආදරේ පිරුන කතා වෙනුවට මට ලැබුන හිත කීරි ගැහුන වචනවලට....


එයාට කවදාවත් නොතිබුන ප්රශ්න ගොඩක් ඇවිත් තිබුන මං ගැන. මම මොනව කලත් එයාට ඒ හැමදේම වැරදියට පේන්න ගත්ත. වැඳල වැඳල මුනගැහෙන්න ආපු දවසට පවා මම අඳින පලඳින විදිය පවා අවුරුදු හතකදිම නොතිබුන අඩුපාඩු ගොඩක් එයාට පේන්න ගත්ත. ඇඳන් ආපු මට තිබ්බ කියල එයත් දන්න මගෙ හොඳම ඇඳුම එයාට වැරහැල්ලක් උනා. සිගරට් එකක්වත් කටේ නොතියපු මාව එයාට කුඩුකාරයෙක් වගේ පේන්න ගත්ත. අම්ම තාත්ත කොහොමහරි කැමති කරගමු කියපු කෙල්ලට අම්ම තාත්ත අකමැති උන එක ලොකුම හේතුව උනා මගෙන් ඈත් වෙන්න.


දුර නිසා මේ තරම් ප්රශ්න ඇති කියල හිතල මම මාස හයකදි වගේ රුහුණට සුහද මාරුවක් හදාගත්තා පබසරාටත් නොකියම. එයාව පුදුම කරවල මේ ප්රශ්න හැමදේම විසඳගන්නව කියල හිතාගෙන.


මම එනකොට පරක්කු වෙලා වැඩී කියල මට තේරුනා. පබසරා වෙනස් වෙලා තිබුනෙ වෙන දෙයක් නිසා නෙමෙයි ඔව් එයා එයාට ගැලපෙන විදියෙ කෙනෙක් එයා හොයාගෙන තිබුන.


මම හෙන කට්ටක් කාගෙන දහ දුක් විඳගෙන මගෙ ආදරේ ලඟට එනකොට ඒකි වෙන එකෙක්ගෙ පපුවකට තුරුල් වෙලා ඉන්නව මං මගෙ කාලකන්නි ඇස් දෙකටම දැක්ක.


එදා මට ගෑනු එපාම උනා.


එදා පබසරා මං දිහා බය වෙලා බලාගෙන හිටියා. මාව වෙවුලුම් කෑව. එදා මට ආපු ආවේගෙට මං පබසරාට අත ඉස්සුව නම් අද පබසරා මේ ලෝකෙ නෑ මම හිරේ.


මම තෙල් බැම්ම ලඟ තිබුන නුග ගහට අත මිට මොලවල ගැහුවෙ එවෙලෙ මගෙ ඉස්සරහ උනේ මට දරන්න පුලුවන් සීමාවට ගොඩක් එහා දෙයක් නිසා.


මගෙ අතේ ලේ පැන්න. අදටත් ඒ කැලල මගෙ අතේ තියනවා.


ඒත් ඒ වේදනාවට වඩා පපුවට දැනුන වේදනාව සිය දහස් ගුනේකින් වැඩී.


මගෙ ඇස්වලට කඳුලු පිරුනා. මොහොතකට පස්සෙ පබසරා ගැන මට ආවෙ තරහකට වඩා මහ කලකිරීමක් මහ අපුල හැඟීමක්.


පබසරා ලඟ හිටපු කොල්ලට ගිහින් ඔක්කොම කියන්න හිතුනත් ආයි උඹේ සතුටනෙ කියල මම හැරුනෙ ගෑනු ගැන හිතේ ඉපදුන පුදුම කලකිරීමකින්.


පස්සෙ පබසරා අඬ අඬ මට කතා කරල කිව්ව...


"ප්ලීස් අයියෙ මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. මට කරදර කරන්නෙපා. එයාට මං ගොඩක් ආදරෙයි"


එච්චරයි.


අඩු තරමෙ මට දැනුන වේදනාව මං හොඳින්ද මං කොහොමද ඒක දරාගත්තෙ කියල...


නෑ ඒ මුකුත් නෑ..


"මං පරණ බඩු පාවිච්චි කරන්නෑ ඕයි


ෆෝන් එක තියපන් මගෙ යකා අවුස්සන්නැතුව..."


මට කියන්න දාහක් දේවල් තිබ්බත් මං එදා එච්චරයි කිව්වෙ මුලු ඇඟම වෙව්ලුම් කද්දි.


මට දැනුන වේදනාව මේ තරම් කියන්න බෑ.


මොනාහරි කරුමෙකට හදාගත්තු මාරුවට එකම ලෙක්ච හෝල් එක ඇතුලෙ පබසරා එයාගෙ කොල්ල ලඟ ඉද්දි මටත් පපුව පිච්චි පිච්චි ඒකෙම ඉන්න උනා.


ලෙක්ච එක පිට එක කට් කලේ මම ඉගෙනගන්න අකමැතිකමටවත් මට මොලයක් නැතුවවත් නෙමෙයි. උරස් කුහරෙට ඇතුලෙන් පණ දීගෙන ආදරේ කරපු හදවතක් මට තිබුන නිසා. උට මේව දරන්න පුලුවන් දේවල් නෙමෙයි හිංදා...


කැම්පස් එක දාල ගිහින් අම්ම තාත්තව රිද්දන්නත් බැරුව ලෙක්ච හෝල් එකට ගිහින් මට විඳවන්නත් බැරුව මම ගොඩක් වෙලාවට කලේ සඳලුතලේ කල් ගෙවපු එක...


ඒ වෙද්දි මම සිම් ඔක්කොම අයින් කලා. ඒ පබසරා ආයි මගෙන් සමාව ඉල්ලන් එයි කියල හිතල නෙමෙයි නිකමටවත් එහෙම ගෑණියෙක්ගෙ මතකයක්වත් මට ඕන නැති නිසා.


සෙරප්පු නොදා ගල් බොරලුවල හැපි හැපි යන යටි පතුලක් උනත් කාලෙකදි ඝන වෙනව වගේ පබසරාගෙයි කොල්ලගෙයි අනඟ රැඟුම් උදේ හවා දැකපු මගේ හිතත් රිදිලම ලාමක ගතිය නැති වෙලා තිබ්බෙ.


මුලදි මං ප්රශ්නයක් වෙයි කියල පබසරා බය වෙලා හිටියත් පස්සෙ එයාටම තේරුනා මං එයාව එක සතේකට මායිම් කරන්නැහැ කියල. පස්සෙ එයත් ඕන ඕන විදියට අරුත් එක්ක මට පේන්නම ගියා.


ඔහොම ඉද්දි තමයි ජූනියර් බැජ් එක ආවෙ කැම්පස් එකට. සයන්ස් එකේ ජුන්නියෙක් උන නෙතුකි මගෙ ජීවිතේට ආවෙ එහෙම.


ඒ වෙද්දි නෙතුකිගෙන් කොල්ලො ගොඩක් කැමැත්ත අහල තිබ්බත් නෙතුකි ඒ කාටවත් හොඳ ප්රතිචාරයක් දීල තිබ්බෙ නෑ.


"ඒකිගෙ හෙන ලයින් යකෝ. බෝල ඇස් හින්ද වෙන්නැති."


අපේ සෙට් එකේ එකෙක් මට කිව්වෙ නෙතුකිව පෙන්නල.


"අපිට මොකෝ බන්."


මං එහෙම කියන ගමන් නෙතුකි දිහා බැලුව. ඒ පලවෙනිම පාර. මට ලොකු හැඟීමක් ඇති නොවුනත් කෙල්ලට ආයි හැරිල බලන්න හිතෙන හුරුබුහුටිකමක් නම් තිබුනා.


"අපිට මොකෝ අහන්නෙ යකෝ


අහ් තොගෙත් හෙන ලයින්නෙ හරි උඹට පුලුවන් නම් ඕකිව ටෝක් කරල පෙන්නපන්..."


මං නෙතුකිගෙ ජීවිතේ කන්න පටන්ගත්තෙ ඔන්න ඔතනින්.


කෙල්ලො ගැන මහ ලොකු පවිත්ර හැඟීම් තිබ්බෙ නැති මං ආදරේ ගැන හිතුවෙ නෑ. මට හිතුනෙ පබසරාට පෙන්නන්න මේක හොඳ චාන්ස් එකක් කියල විතරයි මොකද නෙතුකි ගොඩක් ලස්සනයි හැම අතින්ම...


මොන හේතුවකටද දන්නෑ හැමෝටම අකමැති වෙච්ච ආඩම්බරකාරි මට ආදරේ කරන්න කැමති උනා.


ටික දවසක් යනකන් මං ගෝතයෙක් වගේ පස්සෙන් නොයා නෙතුකිට දැනෙන්න නෙතුකි දිහා ඩීසන්ට් එකේ බලන් හිටියා. පස්සෙන් යනවට වඩා නෙතුකිට ඒක ගොඩක් දැනුන මං හිතන්නෙ. නෙතුකි ඉක්මන් අඩි තිය තිය මාව මගෑරල යද්දි නම් මට හිතුන වැඩේ හබක් කියල. ඒත් කල් යද්දි මං පේන්න නැති උන දවසට ඒ ඇස් මාව හොයද්දි මට තේරුනා තැටිය රත් වෙලා කියල.


මම එහෙම්ම සතියක් විතර නොයා ඉඳල නෙතුකිව බලන්න ගියපු දවසෙ නෙතුකි පලවෙනි වතාවට මා එක්ක හිනා උනා.


මාව ගොඩක් හොයල පාටයි. මට හිතුන.


මං නෙතුකිට ඔලුවෙන් ඉඟි කරල ලඟට කතා කලා.


කෙල්ල බයෙන් බයෙන් පොඩි අඩි තිය තිය මං ලඟට ආවා බිම බලන්.


"උදේම නැගිට නැගිට හැමදාම එන්න බෑ මට. මේ ටිකේ ටිකක් නින්ද ගියා මට. ඒකයි එන්න බැරි උනේ. මාව හරියට හෙව්ව කියල ආරංචී.


එවෙලෙ කෙල්ලගෙ මූන රතු උනා.


ඔයාට තේරෙනවනෙ මං ඔයාට කැමතී කියල මේ නම්බර් එකට අද රෑට මිස් එකක් දෙන්න මට කැමති නම්. මං ගන්නම්. හැබැයි මේකට ගත්තොත් වෙන එවුන් එක්ක කිචි බිචි ගාල අහු වෙන්නෙපා මගේ විතරයි හරි?" මං නෙතුකිගෙ ඇස් දිහාම බලන් හරි බැරෑරුම්ව කියාගෙන ගියා.


ඊට වඩා රොමෑන්ටික් වෙන්න බැරි උනා මට මොකද පස්සෙන් ගිහින් දාගන්න තරම් සිරා කරන්න උවමනාවක් මට නොතිබුන නිසා.


.


.


.


ඊටත් වඩා


ආදරේ පිරුනු වචන එක්ක මට වෙන කෙනෙක් මගෙ මතකෙට එන හිංදා....


වැටෙනව නම් වැටියන් කියල මං හිතට ආපුව කියල දැම්ම.


නෙතුකි හිනා වෙන්නද අඬන්නද තේරෙන්නැතුව මං දිහා බලන් හිටියා.


ඒ අහිංසක බැල්ම හරි ලස්සනයි කෙල්ලෙක්ට.


හිතාගන්න බැරුව කෙල්ල තාමත් මං දිහා බලන්. මට හිනා යන්නත් ආව මං මොකක්ද ඇත්තට ඒ කිව්වෙ කියල කල්පනා වෙලා. ඒත් මං හිනාව තද කරන් ඇහි බැමි අකුලන් ඇහුව


"එච්චරයි. මොනවද තව බලන් ඉන්නෙ? අද ලෙක්ච යන්නැද්ද?"


එතකොටයි නෙතුකි පියවි සිහියට ආවෙ.


"ම්ම්ම්ම් ඔක්කොම වැඩ ඉවර කරගෙනම කෝල් එක ගන්නව හොඳේ මගදි දාල යන්න බෑ"


මං නම්බර් එක දික් කලා කෝල් කරන බව ඉර හඳ වගේ විශ්වාසයි වගේ. ඒ බැල්මෙන් මට තේරුම් ගිහින් තිබ්බෙ ඒ කෝල් එක අනිව එන එකක් කියල.


මගෙ අතින් බයෙන් වගේ නම්බර් එක අරගත්තු කෙල්ලගෙ මූනෙ ලාවට හිනාවක් ඇඳුනා. ආයෙම මූන උස්සල මාව ඇස්වලින් කියවන්න හදනව වගේ මං දිහා එක පාරක් බලන් හිටපු කෙල්ල සයන්ස් එක පැත්තට ගියා.


මම බලන් හිටියා...


පිටිපස්සටත් හැඩයි.


"තෝ යකෝ...


නම්බර් එක ඒකි ගත්ත නේද...?"


ඒ මට චැලෙන්ජ් කරපු එකා.


"ඔව් ගත්ත.


දැන් ඔය කට වහගනින් ඕකට සත්තු ගිහින් උඹව වන සංරක්ෂණ එකෙන් අරන් යයි දඩයමේ ගියා කියල. යමන්"


මං ඉස්සර උනා.


ඔහොම පටන්ගත්තු දඩබ්බර ආදරේ නෙතුකි මට ආදරෙයි කියන්නත් කලින්ම මං වචනවලින්ම එයාව මගෙ කරගත්ත එයාට වචනයක්වත් කියන්න ඉඩ නොදී.


මට දැනුන එකම දේ නෙතුකි මට යට වෙලා ඉන්න ගොඩක් ආස කලා. පස්සෙන් එන කොල්ලො අතරෙ එයාව පාලනය කරන්න පුලුවන් කොල්ලෙක්ට එයා ආස කලා.


පබසරා ලඟදි අහිංසක ආදරවන්තයෙක් උන මං නෙතුකි ලඟදි හිට්ලර් කෙනෙක් උනේ මටවත් මාව තේරුම් ගන්න බැරි විදියට.


මාස දෙක තුනක් යනකොට නෙතුකිගෙයි මගෙයි ආදරේ කාටවත් රහසක් උන්නැහැ. මම පබසරාට පේන්නම නෙතුකිව මගෙ පපුවට තුරුල් කරගත්ත.


පබසරාගෙ මූනෙ වෙනස්වීම් අඳුනගන්න මට වැඩි වෙලා ගියෙ නෑ. මං ඒකෙන් ලොකු සතුටක් ලැබුව.


මුලු කැම්පස් එකක් ඉස්සරහ හැමෝටම පේන්න නෙතුකිගෙ අතින් අල්ලන් යනකොට නෙතුකි හිතුවෙ මං එයාට අවංකවම ආදරෙයි කියල. එවෙලෙට එයාගෙ මූණෙ තියෙන්නෙ රටක් රාජ්යක් ලැබුන තරමෙ සතුටක්.


හැම වෙලේම තිබුන රැවිලි ගෙරවිලි අතරෙ එක පාරටම එයාව තුරුල් කරගත්ත ඒ එක මොහොතට නෙතුකි ගොඩක් ආදරේ කලා... ඒ මං එහෙම කලේ වෙන කෙනෙක්ට රිද්දන්න මිසක් එයාට ඇති ආදරේකට නෙමෙයි කියල නොදැන.


එහෙම වෙලාවට පපුව පුරා දැවටි දැවටි ආදරේ හොයපු කෙල්ලව පපුවෙන් ඈත් කරන්න ලෝබ හිතිල මං බලන් හිටියා මුකුත් කරගන්න බැරුවම අසරණ වෙලා...


නෙතුකිට වරු ගානක් උනත් ඉන්න පුලුවන් නොකා නොබී මගෙ පපුව තියනව නම්.


එයා ඒ තරම් ආදරේට ලෝබයි.


මට ලෝබ හිතුනෙ ඒ අහිංසකකමට....


නෙතුකි සමහර වෙලාවට මට මහ වදයක් උනා. කොල්ලෙක් කැමැත්ත ඇහුවත් ඌ බලන් හිටපු තැන ඉඳලම මට කියනව. ඇඳුමක් ගන්න ගියත් ගමනක් බිමනක් ගියත් මූන හෝදද්දි ඇඳුම් අඳිද්දි පිටත් වෙද්දි එකින් එකට මසේජ් කෝටියයි. මගෙ ෆෝන් එක කොයි වෙලෙත් බිසී උනා.


කෙල්ල මට ගොඩක් ලං උනා. මට පිස්සුවෙන් වගේ ආදරේ කරන මං ගැන මේ තරම් හොයල බලන කෙල්ලට මං කොයි තරම් බොරුවක්ද කරන්නෙ කියල මතක් වෙද්දි මට දුක හිතුන්නෑ කිව්වොත් බොරු.


රලු පරලු ගොරහැඬි වෙච්ච හිත ඇතුලෙ හිටපු අහිංසකයව නෙතුකි හරි පරෙස්සමට ආයි ඇහැරවගෙන තිබ්බ. ආයි ආදරයක් ගැන හිතන්නෙපා මී හරකො කියල මොලේ කොච්චර බෙරිහන් දුන්නත් පපුවෙ ගැඹුරෙම එයා ලඟදි මොන මොනවදෝ වෙන බව මට නොදැනුනා නෙමෙයි.


ඒත් අවුරුදු හතක් ආදරේ කරපු එකී එහෙම කලා නම් අද ඊයෙ හම්බුන කෙල්ලෙක් මොනා කරල යයිද කියල මගෙ හිත කිව්ව.


ඉතිං මං මට රිදුන වෙලාවට රිද්දන්නම නෙතුකිව තියාගත්ත.


මම නෙතුකිව ගනන් නොගෙන ඉන්න හදද්දි නෙතුකි හිතුවෙ ඒ මගෙ හැටි කියල.


ඒ මම ආදරේ කරන විදිය කියල.


එයා ඒ ආඩම්බකමට ආදරේ කලා.


හැමදාම කොච්චර බැනුම් ඇහුවත් ආයි ලෙක්ච ඉවර උන ගමන් මං ලඟට ඇවිත් හුරතල් වෙන නෙතුකිව මට පෙනුනෙ හුරතලේට ඇඟේ දැවටි දැවටි පුරු පුරු ගාන පූස් පැටියෙක් වගේ. වෙලාවට මං පූසන්ට කැමති නෑ. ඉතින් ආයි මගෙන් බැනුම් අහනව. මට තිබ්බෙ නෙතුකිව නැති කරගන්නත් බැරි ලඟ තියාගන්නත් බැරි හැඟීමක්.


නෙතුකි නැති උනොත් මට ඉන්න බැරි වෙයි කියලත් මට හිතුන. ඒත් මේකිත් මාව දාල ගියොත් මේ තරම් ආදරේ කරල. ආයි දුක් විඳින්න තරම් හයියක් මගෙ හිතට නැති බවත් මං දැනන් හිටියා.


පබසරා මට රිද්දපු හැම තැනම වේදනාව ඉතුරු උනේ ඒ කිසිමදෙයක් නොදැන හිටපු නෙතුකිට.


................................................................


"ආදි....."


මම වර්තමානෙට ආවෙ හරි සුපුරුදු කටහඬකින්...


සඳලුතලේ ලඟ හිටගෙන හිටියෙ වෙන කවුරුත් නෙමෙයි "පබසරා"


මං පබසරා දිහා බැලුවෙ ප්රශ්නාර්ථයක් මූනෙ තියන් මුකුත් හිතාගන්න බැරුව.


"ආදි මට ටිකක් කතා කරන්න ඕන ඔයත් එක්ක..."


මම නෑහුන ගානට සඳලුතලෙන් ඈත ගිනි පාට අහස දිහා බලාගත්තෙ පබසරා ගැන මගෙ හිතේ තිබුන අපුල ගතියට වෙන්නෝන.


"ආදි මං දන්නව මං කලේ සමාව දෙන්න බැරි තරම් ලොකු වරදක්. මට ඒකට දඬුවම් ලැබුන අයියෙ. නිලංග මට කරල තියෙන්නෙ බොරුවක්.


පබසරාට ඉකි ගැහුන


එයාට මැරි කරන්න කෙනෙක් ඉන්නව. මට එකම එක චාන්ස් එකක් දෙන්න පුලුවන් නම්...


එයා කිව්වෙ කඳුලු පිහදනගමන්...


මගෙ පපුව අසූ හාරදාහට ගැහෙන්න ගත්ත.


ඒක එවෙලෙ මං කොහොමවත් බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි.


ප්ලීස් මං ආයි කවදාවත් ඔයාව දාල යන්නැහැ මං පොරොන්දු වෙනව. අයියෙ මට සමාවෙන්න. මං දන්නව ඔයා නෙතුකි එක්ක යාලු උනේ මට රිද්දන්න විතරයි කියල. ඔයාට වෙන කෙනෙක්ට ආදරේ කරන්න බෑ කියලත් මං දන්නව. ඔයාගෙ නංගිට එකම එක පාරක් සමාව දෙනවද ප්ලීස්?"


මං පබසරා දිහාවට කේන්තියෙන් හැරුනෙ හිතට ආපු ආවේගෙට තමුසෙට මාව අම්බලමක් වගේ පේනවද ඕයි අහන්න ඒත් ඒ ඇසිල්ලට පබසරා මගෙ පපුවට තුරුල් උනා.


මට මොනවද කියන්නෙ හිතාගන්න බැරි උනා මොහොතකට.


මට එයාව ඈත් කරන්න හයියක් තිබුනෙ නෑ.


හිතේ ආදරයක් ඉතුරු වෙලා නොතිබුනත් අවුරුදු හතක් තිස්සෙ ආදරේ කරපු කෙල්ල මේ තරම් අසරණ අඬද්දි මගෙ හිතට දරාගන්න බැරි වෙන්නැති.


මම පබසරාට ඇති තරම් අඬන්න දුන්න.


මෙච්චර දවස් මට පබසරා ගැන තිබුන තරහ කලකිරීම වගේම කලින්ම නැති වෙලා තිබුන ආදරෙත් නැතුව මහ ශූන්යකමක් විතරක් මගෙ පපුව උඩ හිටපු ගැහැනිය ගැන දැනුනා.


මං ලොකු හුස්මක් ගත්ත.


පබසරාගෙ කඳුලු ඉවර උනාම මං බොහොම ඉවසීමෙන් හැඟීම් වචන කලා පබසරාව මගෙ පපුවෙන් ඈත් කරල එයාගෙ උරහිස්වලින් අල්ලන්.


"නංගි මතකද මේ කැලල?


මං කිව්වෙ එදා නුග ගහට ගහපු පාරෙන් මගෙ අතේ ඇති වෙලා තිබුන කැලල පෙන්නල. පබසරා වරදකාරී හැඟීමෙන් ඇස්වල කඳුලු පුරවන් මං දිහා බලන් හිටිය.


මේක මට හැමදාම මතක් කරයි අපි අතර උන හැමදේම.


ඔයා මට රිද්දපු තරම මං දුක් විඳපු තරම...........


.


.


ඔව් මම නෙතුකි එක්ක යාලු උනේ ඔයාට රිද්දන්න ඔට්ටුවට බව ඇත්ත නංගි ඒත්...."


මට වචන ටික සම්පූර්න කරන්න ලැබුනෙ නෑ. සඳලුතලේ ලඟ ඉඳන් මං දිහා බලාගෙන හිටියෙ නෙතුකි.


නෙතුකිගෙ බෝල ඇස් රතු වෙලා කඳුලු කැට වැටුන කම්මුල් දිගේ. චූටි තොල් හපාගෙන මුකුත් හිතාගන්න බැරුව තාමත් මං දිහා බලන්... මගෙ අසරණී ගොඩක් වෙලා ඉඳල එතන ඉන්න ඇති.


මට පබසරාව අතෑරුන.


"සු... සුදු මැනික මේ අහන්න...."


මට ගොත ගැහුන.


මෙච්චර දවස් මගෑරගන්න බැරුව දඟලපු නෙතුකිව මට නැති වෙන්න යන්නෙ කියල බයක් මොහොතකට මගෙ හිතට ආව.


මං නෙතුකි ලඟට දිව්ව කියන්න මුකුත් නැති උනත් මම වැරදිම වැරදි උනත් නිදහසට කියන්න කරුනු නැතිම උනත් මං කියන දේ චුට්ටක් අහන්න කියන්න...


මම හිතුවෙ නෙතුකි මට කන හරහ මතක හිටින්න පාරක් ගහයි කියල.


ඕනෙකක් කියල මං නෙතුකි ලඟට ගියා.


ඒත් සිද්ධ උනේ ඒක නෙමෙයි. නෙතුකි මගෙ පපුවට තුරුල් උනා.


අඬ අඬම තුරුල් උනා. පුංචි අත් දෙකෙන් මගෙ සද්ධන්ත සරීරෙම ගුලි කරල අල්ලගන්න හරියට මහන්සි උනා හරියට මාව කාටවත්ම නොදී ලෝකෙන්ම හංගගන්න වගේ.


පබසරා බලන් ඉද්දිම මං ජීවිතේ පලවෙනිම වතාවට නෙතුකිව මගෙ පපුවට තුරුල් කරගත්ත ඇත්තටම මුලු හිතින්ම දැනුන ආදරෙන්...


"මේ ඇහුන කතා බොරු නේද ආදි අයියෙ ප්ලීස් මට කියන්න අයියෙ? මං විශ්වාස කරන්නෑ මේව ප්ලීස් මේව බොරු කියන්න?


.


.


.අනේ අයියෙ මේව බොරු නේද? මට නේද ඔයා ඇත්තටම ආදරේ කරන්නෙ? බෙට් එකකට නෙමෙයි නේද මා එක්ක යාලු උනේ? කියන්නකො අයියෙ ප්ලීස්"


පුංචි කෙල්ල පපුවට තව ගුලි ගැහි ගැහි ඉකිගගහ මගෙන් ඇහුව...


මම කියාගන්න දෙයක් නැතුව නෙතුකි දිහා බලන් හිටියෙ ගොඩක් අසරණ වෙලා. මට තවත් නෙතුකිට බොරු කරන්න ඕන උන්නෑ.


නෙතුකි කෙලින්ම මගෙ ඇස්වලට එබුන.


"ඔයා කතා නොකරන්නෙ මේ හැමදේම ඇත්තද?


හැමෝම මට හැමදාම කියපු ඒත් මං විශ්වාස නොකරපු ඒ දේවල් ඇත්තද අයියෙ?"


නෙතුකි ඇහුවෙ මගෙ පපුවෙන් දුරස් වෙලා.


නෙතුකිට හැමදාම රවපු මගෙ නපුරු ඇස් බිමට හරවගන්නව මිසක් මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.


පබසරා හැමදේම බලන් හිටියෙ කඩා වැටුන බැල්මකින්...


"අයියෙ....


නෙතුකි කිව්වෙ හරි අමාරුවෙන් තද කරගත්තු කඳුලු අතරින් මගෙ තුවාල කැලල තිබුන අත අල්ලගෙන පපුවට තද කරල තියාගෙන.


දන්නවද ආදි අයියෙ.... #ඔයාට_රිදුන_හැම_දවසකම_මටත්_රිදුනා__ඒත්_ඔයාට_රිදුන_හැම_වෙලේම_ඔයා_මට_රිද්දුවා_ඔයා_දන්නවද_එතකොට_මට_හැමදාම_දෙපාරක්_රිදුනා....


නෙතුකි කියපු ඒ කතාවට ඊට වඩා මට රිදුනා.


තද කරන් හිටපු කඳුලු එලියට පැන්නෙ මටත් නොදැනි...


මං නෙතුකිව මං ලඟට ලං කරගත්ත...


ඒ බෝල ඇස් දිහා මං මොහොතකට බලන් හිටිය.


ලොකු ආදරයක් නෑ ලොකුම ලොකු ආදරයක් ඒ ඇස්වල මගෙ නමින් තිබුන..


ඒ හැමදේම ඇහිලත් දැනගෙනත් හැමදාම වගෙම තාමත් නෙතුකි මගෙ පපුතුරුලෙ ආදරේ හොයනව නේද දෙයියනේ කියල මට හිතුන....


"ඔව් මැණික ඔට්ටුවක් තමයි ඒත් ඒ ඔට්ටුව ඉවර වෙලා මං ඔයාට ආදරේ කරන්න අරන් ගොඩක් කල්.


මං පබසරාව අමතක කරල ඊටත් ගොඩාක් කල්..."


මං කිව්වෙ නෙතුකි දිහාත් පබසරා දිහාත් බලල පාපොච්චාරණයක් කරනව වගේ....


"ඔයාට මං මේ කියන දේවල් අවිශ්වාස නම් මං....."


නෙතුකි එයාගෙ පුංචි අතෙන් මගෙ කට වැහුව...


"නෑ මට විශ්වාසයි...."


නෙතුකිගෙ ඇස් දිලිසුනා.


"මාව ඒ තරම් විශ්වාසද?"


මං නෙතුකිගෙන් ඇහුවෙ ලොකු බරක් හිතෙන් නිදහස් උනා වගේ සතුටකින්.


"අපෝ නෑ....


මට මගෙ ආදරේ විශ්වාසයි.


මං ඔයාට මෙච්චර කල් ආදරේ කලේ ඔයාට මාව දාල යන්න ඉඩක් තියල නෙමෙයි...."


නෙතුකි කිව්වෙ හොර වැඩක් කරපු දඟ කෙල්ලෙක් වගේ හිනා වෙවී මගෙ පපුවට තුරුල් වෙලා....


පබසරා මා එක්ක දුර ඉඳන් අහිංසක විදියට හිනා උනා....


ඒ මං ගැන හිතේ අහිතකින් නොවෙන්නැති...


ජීවිතේ අපි වැඩිය නොහිත නැති කරගන්න සමහර දේවල් අපි තේරුම් ගන්නකොට අපිට නැති වෙලා ඉවරයි...


.


.


.


සඳලුතලේ හුලඟම එයාගෙ ඇස්වල කඳුලු වේලල තිබ්බ මට පිහදාන්න ඉඩක් නොතියාම....


ජීවිතේ සමහර තැන්වලදි අපිට මුල ඉඳන් පටන්ගන්න බෑ.

                ශානූ❤️❤



LLeave a comment


https://telegra.ph/-08-28-1171

Report Page