😱

😱

Riyola

කෙටි කතාවකි

#රියෝලා_නෝර්ලීන් 

#උපන්දින_තෑග්ග


උපන්දින තෑග්ග. 


ඉතාමත්ම වෙහෙසකර වූ දිනයකි. සවස හය හමාරට පමණ රෝහල් ආපන ශාලවෙන්ම කෑම පාර්සලයක්ද මිලදී ගෙන රෝහලෙන් පිටත්ව බෝඩිම වෙත පැමිණෙද්දී රාත්‍රී 7 පසුවී තිබුනි. මාර්ගය පුරාවට තිබූ වාහන තදබදය ගතේ මෙන්ම සිතේ විඩාවද තව තවත් ඉහල නැංවීය. 

නිවසට ඇතුල්වූ විගසම අත් බෑගය පමණක් මුලුතැන් ගෙයි මේසය මත තබා කෙලින්ම ඇය ගියේ නාන කාමරය වෙතය. දවස පුරා සුළං පොදක් හෝ නොවැදී ගිනිගන්නා තරමට අපහසුතාවයක් ගෙන දෙන්නාවූ ආරක්ශක කබා අස්සේ වේදනාවෙන් මිරිකෙමින් සිටි ඇය වතුර මල යටට වී පැයක පමණ කාලයක් තිස්සේ නාගත්තේ ගතටත් වඩා සිතට එහි වූ අවශ්‍යතාවය නිසාය. 


"සියලු දේ අනිත්‍යයි. සියලු දේ නැසෙන සුලුයි. මෙලොව ඇතිවන සියල්ල නැතිවීමම උරුම කරගෙන ඇත්තේය"

 යනුවෙන් සවස නිවසට එද්දී ඇගේ රථයේ වූ ගුවන් විදුලියෙන් ඇසුනු පොසොන් පෝදා ධර්ම දේශනා වැඩසටහන හරහා ස්වාමීන් වහන්සේ නමක් විසින් වදාළ බුදුවදන නැවත නැවතත් සනාථ කරමින්, ඇගේ වාට්ටුව තුළ අද දිනට, තුන් වැනි කෝවිඩ් රෝගීයාද මිය ගොස් තිබිනි.


            ******#රියෝලා*************

          🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️


"දොස්තර නෝනේ..., අනේ මාව බේරාගන්න. මට බෑ දැම්ම මැරෙන්න...

 අනේ..මගේ දරුවෝ තාම පුංචී...

දෙයියනේ මට කිරිසප්පයෙක් ඉන්නවා... අනේ මට මැරෙන්න බෑ දැන්ම... දෙයියනේ . මට දැන්ම මැරෙන්න බෑ, මාව බේරාගන්න... "


කොවිඩ් නියුමෝනියා තත්වය නිසා රෝහල් ගත කල තිස් පස් වියැති සුනීතා හුස්ම ගැනීමේ වූ අපහසුතාවයන් මැද පවා කෑ ගැසුවාය. ඇගේ හඬ වාට්ටුවේ බිත්ති අතර දෝංකාර දුන්නේය. ඔක්සිජන් මුව වැස්ම නිසා නොවන්නට ඈ නොඑනා ගමන් ගොස් බොහෝ වේලා වන්නට තිබුණි. නමුත් එයටද ඇයව රැකගන්නට හැකිව තිබූ කාලය අවසන් වී ඇත. 


ඇය ගැහෙන්නට හා ක්‍රමයෙන් හෘධ ස්පන්ධනය අඩුවී යෑමටත් පටන් ගත් අතර තවදුරටත් වචනයකුදු කෑ ගැසීමට නොව පිට කිරීමටද නොහැකි වෙමින් ගෙවී ගොස්.. අවසන...

අවසන සියල්ල වා තලයට මුසුව ඇගේ ජීවන ගමනනෙන්, ජීවිත කතාවෙන් එලෙසින් නොඑන ගමන් යන්නට ගියාය.


සැබෑවටම, අපට කළ හැකි සියල්ල හැකි උපරිමයෙන් කළත්, ඈ නොයෙන ගමන් ගියාය. ඇය ගියේ නිකම්ම නොවේ. ඇගේ පවුලේ සියලු දෙනා පමණක් නොව, ඈ වෙනුවෙන් දා බිඳු හෙලූ වාට්ටුවේ වූ සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයේ සියල්ලෝමද වේදනා සයුරේ ගිල්වමිනි.


            **********#රියෝලා*******************

            🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️🕳️


උත්පලාගේ කුඩා සාලයක්, නිදන කාමරයක්, මුලුතැන් ගෙයක් හා නාන කාමරයකින් සමන්විත කුඩා කුලී නිවස තුල ඇය ජීවත් වූයේ තනිවමය. 

නිවසට ආ වහාම පුරුදු පරිදි ස්නානය කිරීමෙන් අනතුරුව ඈ හිසකෙස් වියලෙන තුරු විදුලි පංකාව ක්‍රියාත්මක කර සාලයට වී සිටියාය. 


නමුත්, ඇගේ සිත චකිතයෙනි. එයට හේතුව ඇයට පැහැදිලි නැත. වෙනදා නොදැනුන තනිකමක් පාලුවක් ඈ වෙලා ගත්තාය. ගුප්ත බවක්, නිහඩ බවක් ඈ වටා කරකැවෙන සෙයක් දැනුනි. 

ඒ නිසාම ඇය තම පෙම්වතා වූ භාතිය හට දුරකථන ඇමතුමක් ගත්තද ඒ නොහොතේ ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිත වී තිබිණ. ඔහු පොලිස් නිලධාරියෙක් බැවින් බොහෝ විට දුරකථන සංඥා නොමැති දුශ්කර ගම්මාන වල පවා ඇවිදීමට ඔහුට සිදුවන බැවින් එය ඒ හැටි කළබල වීමටද කාරණාවක් නොවිනී. 


ඇය රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කළාය. එහි වූයේ ප්‍රවෘත්ති විකාශනයකි. පක්ෂ විපක්ෂ සියල්ලන්ගේ බැනගැනීම්, ඇතැම් ජඩ දේශපාලුවන්ගේ කුමන්ත්‍රණ , නීතිය කඩ කිරීම් හා දූෂණ වංචාදිය සාධාරණීකරණය කරන්නවුන්ගේ රඟපෑමක් එහි තිරගත විය. ඇයට ඒ මුලා කිරීම අප්‍රසන්නය. 

තවත් නාලිකා කීපයකට මාරු කලද සියල්ලේ තිබුනේ එවැනිම ප්‍රවෘත්ති විකාශනයන්‍ ය. පෝදා හෙයින් ටෙලි නාට්‍ය නැත. 


"ඒකට කමක් නෑ. මිනිස්සුන්ගේ හිත් විනාස කරන බොළද නාට්ටි නම් නැති තරමට හොදයි. "


ඇය අලුත් ප්‍රවෘත්තියක් හෝ දැනගැනීමට සිතා නැවත පෙර කී නාලිකාවටම මාරු කර සෝෆාව මතට වැටී කකුල් දෙකද වකුටු කර සෝෆාව උඩටම ගෙන ඒ මත ගුලි වී සිටියාය. 

මෙදින දැඩි වෙහෙසකර දිනයක් වූයෙන් ඇයටත් නොදැනීම සෝෆාව මතම ඇය නින්දට වැටී තිබුණි. 


නමුත්, ඈ හදිස්සියේම අවදි උනේ රූපවාහිනී තිරය මත සිලි සිලියක් ඇදෙද්දීය. නිවසින් පිටත තද බල වර්ශාවකි. අකුණු හා ගෙරවීම්‍ වලින් වැස්සේ ප්‍රබල බව කියා පෑවේය.


" කොයි වෙලේද වැස්ස පටන් ගත්තේ."


 ඈ ජනෙල් තිර රෙදි අතරින් විදී ලාම්පුවේ එලියට හසුව නිවසට පෙනෙන බාහිර පරිසරය දෙස බලා උන්නාය. 


සෝෆාව මත ගුලීවී උන් ඇය මේසය මතවූ දුරස්ථ පාලකය මගින්, රූපවාහිනිය ක්‍රියා විරහිත කලාය. භාතියගෙන් ලැබී තිබූ ඇමතුම් දහසයක්ද ඇයට මගහැරී තිබුනි. 


ඇය නැවතත් භාතිය හට ඇමතුමක් ගැනීමට උත්සහා කලද, එවරද ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතව පැවතුණි.


"දැන්නම් හුගක් වෙලා. අනේ මන්දා කොහේ හරි යනවනම් මැසේජ් එකක් තියලා යන්න කීවට කවදාවත් නෑනේ ඒක කරන්නේ"

ඈ හිත යටින් ඔහුටද නෝක්කාඩු කීවාය.


"දැන්නම් බඩගිනි. කාලා ඉන්න ඕනා." 

ඇය සෝෆාවෙන් බැස මුලුතැන් ගෙය දෙසට ගියේ සවස එද්දී රැගෙන ආ බත් පාර්සලය වැස්සත් නිසා සීතල වීමට ඉඩ ඇති බැවිනි.


නමුත් ඈ දුටු දෙයින් අඩියක් ආපස්සට ආවේ,

ඇගේ කෑම පාර්සලය ඉරා දමා මුලුතැන් ගෙය පුරාවට කෑම ඉහිරී ගොස් තිබූ හෙයිනි. ඈ සුරතල් සතුන් ඇති කලේ නැත. වායුසමීකරණය කල නිවසක් බැවින් ප්‍රධාන දොර හැරෙන්නට වෙනත් සත්වයෙක්ට නිවසට පැමිණීමටද නොහැක. එසේනම් තමා දොර හරිනවාත් සමග බළලෙක් හෝ බල්ලෙක් තමාත් සමඟම ගෙට රිංගාගන්නට ඇත. 


ඇය මුළුතැන්ගෙය පුරා සෙව්වද කිසිදු සත්වයෙක් හමු නොවිණි. 

"අනේ මන්දා, අනේ උයන්නනම් බෑ දැන්. නූඩ්ල්ස් පැකට් එකක් හදන් කනවා,"


ඇය තේ සාදා ගැනීමට සිතා විදුලි කේතලය රත් වෙන්නට තැබුවාය. 

ඒ අතර ඇයට නාන කාමරය දෙසින් හඩක් ඇසුනි. 


"එකත් එකටම අර සතා වෙන්න ඇති."


 ඇය කොස්සත් රැගෙන නාන කාමරය වෙත සෙමෙන් පිය නැගුවාය. 

ඇය ඒ අසළට යද්දීම ජල කරාමය විවරව ජලය ගලා යන හඩ ඇසුනි. 


"දෙයියනේ... සතෙක් කොහොමද ටැප් එක අරින්නේ..."


ඇය නැවත සාලයට දිව ගියාය. ඒ භාතියට දුරකථන ඇමතුමක් ලබා ගැනීම සදහායී. 

ඈ නාන කාමරයට පිට ලා සිටි බැවින් කිසිවක් නොපෙනුනද ඇයට කිසිවෙකු වේගයෙන් හුස්ම ගන්නා හඬ ඇසුනි. ඇයට ඇගේ දෙපා පණ නැතිව යන්නට සැරසෙන්නාක් මෙන් දැනුනි. 


නිවසට සොරෙක් කෙසේ හෝ මාර්ගයකින් පැමිණ ඇත. භාතියට ඇමතුමක් ගත යුතුය. නමුත් සාලය තුල තමා අනාරක්ෂිතය. ඈ වහා දිව ගොස් නිදන කාමරට වී අගුලු ලා ගත්තාය. 


දෙතුන් වතාවකින් අනතුරුව භාතියගේ දුරකථනය නාද විය. 


"භ්..භා...භා.. "ඇයට වචන පවා ගොත ගැසී තිබුණි. 


"උත්පලා... උත්පලා කියන්න මොකද උනේ ඔයා කොහෙද ඉන්නේ..."


එසැනින් ඇයට දැනුනේ ඇගේ පිටුපසින් උරහිසට හා බෙල්ල අතරින් කිසිවෙකු හුස්ම ගන්නා හුස්ම රැල්ලක් දැනුනු බවයි. ක්ෂණයකින් ඇයට කෑ ගැස්සී, දුරකථනය විසිවූ අතර ඇමතුම විසන්ධි වීමට පෙර ඇගේ කෑගැසුම් හඩ භාතියගේ කන් වැකුණි. සැබැවින්ම ඔහු සිටියේ උත්පලාගේ නිවසින් බොහෝ දුරක නොවේ. පසුදින ඇගේ උපන්දිනය හේතුවෙන් එදින රාත්‍රී 12 ට සමග පැමිණ ඇයව විස්මයට පත් කිරීම ඔහුගේ අරමුණ වී තිබුණි. 


නමුත් ඇගේ කෑ ගැසීමෙන් තැති ගැන්නමට පත් ඔහු තවත් මොහොතක පමා නොවී ඇයගේ නිවස පිහිටි පටුමගට තම කාරය හැරෙව්වේය . 


මේ අතර උත්පලාගේ දෑස් යා වුනේ තමා පිටුපසින් උන්නාහු කවරෙක්දැයි බැලීමටය. තම ගෙලට පිහිය තබන්නට ඉදිරියට එන මුහුණු වැස්මක් දමා ගත් සිරුරම වැසෙන පරිදි කලු හැදගත් හැඩි දැඩි පිරිමියෙකු වෙනුවට එහි සිටියේ, හිසේ සිට දෙපතුල දක්වා සුදු හැදගත් කාන්තාවකි. සැබැවින්ම ඒ තිරස්ව තිබිය යුතු මළ සිරුරක් සිරස්ව ඇවිද එන්නාක් මෙන් ඇයට දැනුනි. 


ඇයට බොහෝ දේ අවබෝධ විය. තමාට මුහුණ දීමට සිදුව ඇත්තේ, අතින් හෝ පයින් සටන් කළ හැකි අයෙකු සමග සටන් කිරීමට නොවන බැව්. 

ඇගේ කොදු නාරටිය දිගේ අකුණක් ඇදී ගියාක් මෙන් දැනුණු අතර තව දුරටත් හඬක් පිට කිරීමට නොහැකි වන සේ මුව ගොලුව ගිය බවක් වැටහුනි. 


කෙමෙන් කෙමෙන් ඒ මළ සිරුර තමා දෙසට ලං වන්නට වූයෙන් මොහොතකට ලැබුන ක්ෂණික අදහසකින් ඈ දොර හැර සාලයට පැන දොර වැසුවාය. නමුත් ඇගේ දෑස් ඉදිරියෙම බෝල අගුල 'කිරිස් කිරිස්' හඩ නංවමින් ඉතා සෙමෙන් කැරකෙන්නට විය. කළ හැකි අන්‍ යමක් වේ නම් ඒ උදව් පතා කෑ ගැසීම පමණි.


වත පුරා භීතියේ දා බිදුවැල් ගලා යද්දී ඇය නිවස ඉදිරිපස කුඩා මිදුල ට දිව යන්නට සැරසුනා පමණි. ගේට්ටුව ඉදිරිපස භාතියගේ කාරය නතර විය. ඇය භාතියගේ නමින් අමතන්නට සැරසුනා පමණි. 

ශීතල අතකින් ඇගේ මුව වැසී ගියේය. අනෙක් ශීතල අත උත්පලාගේ උගුරු දණ්ඩ කරා ඇදී ගියේය.

භාතිය සියල්ල දුටු අතර කල හැකි කිසිවක්ම ඇත්දැයි සිතද්දීම ඔහුට යමක් සිහි විය. 

අඩි තුනකින් ඔහු සිටියේ ඇය අසලයි. ඔහුගේ වේගය එතරම් විය. 


ඇගේ දෑත මත තැන්පත් වූයේ, භාතිය විසින් රැගෙන එන ලද කාරයේ තැන්පත් කර තිබූ කුඩා බුදු පිළිමය හා පසුපස බලන කණ්ණාඩියේ එල්වා තැබූ රත්නමාලී යන්ත්‍රය සහිත රන්පතයි. 


විදුලියක් වැදුනු කලක මෙන් අමනුෂ්‍ය ආත්මය විසිවී ගියේය. උත්පලා ඒ සමගම ක්ලාන්ත වන්නට මෙන් භාතියගේ සිරුරට බර වද්දී අමනුශය ආත්මය නැවත මහ හඩින් වියරු සිනා නැගුවාය. 


"අහපං අද පටන් ගත්තා විතරයි. මාව බේරාගත්තේ නැති ගෑනීටත් මගෙන් ගැලවිල්ලක් නෑ. " අමනුෂ්‍ය ආත්මය වියරුවෙන් කෑගැසුවාය.


"මො මො මොකද්ද ඒ කතාව, ම්..මේ.. මේ සුනීතා!" 


අමනුෂ්‍ය ආත්මය, එතෙක් තම මුහුණ ආවරණය කර තිබූ සලුව ඉවත් කර දැමූවාය. ඔව් ඒ සුනීතාමය. 


ඇය අවසන් තත්පරයේ තමා දෙස බැලූ ආකාරය උත්පලාට සිහි විය. ඒ දෑසේ බැල්ම රෞද්‍රය. ශරීර‍ වේදනාවටම ගිනියම් රත් පැහැයක් ගත් දෑස් ඇය වෙත එක එල්ලේ යොමුව තිබුණි. 


"භාතිය අනේ දුවමු. එන්න ඉක්මනට". 

ඔවුන් දෙදෙනා දිව ගොස් කාරයට ගොඩ වී අසුරු සැනින් ඉගිල ගියේ ඔවුන්ට ලගින්ම පිහිටි විහාරස්තානයෙ බුදු කුටිය තුලටයි. ඔවුන් දෙදෙනාම හති ඇරියේ බුදු කුටිය තුල හිදගෙනයි


"අහන්න භාතිය ඒ සුනීතා කියන්නේ අද දවල් අපේ වෝර්ඩ් එකේ උන ඩෙත් එකක්. 

ඒත්, එයා වෙනුවෙන් අපි කරන්න පුලුවන් උපරිම දේ කලා, 

අනේ එහෙම කරලත් එයා මෙහෙම මගෙන් පළිගන්න හේතුවක් නෑනේ. 

ඇත්තටම අපි නොකල දෙයක් නෑ එයාව බේරගන්න. අනික පුංචි දරුවෙක් ඉන්නවා කිව්ව නිසා අපි වැඩියෙනුත් එයා ගැන බැලුවා. ඇත්තටම සිද්ද උන දේ ගැන දුකයි. ඒත් මම මොනවා කරන්නද. " උත්පලා කදුලු සලමින්ම පැවසුවාය. 


"හ්ම්ම්ම්. ඔය ගෑනු කෙනා ඉතින් එච්චර දරුවෝ ගැන හිතනවනම් පරිස්සම් වෙන්න තිබ්බනේ බබා. ලෙඩේ සනීප කරගන්න නෙවේනේ මහන්සි වෙන්න ඕන. හදාගන්නේ නැතුව ඉන්නනේ. මන්දා මිනිස්සු මාස්ක් එක වත් නොදා යන කී දෙනෙක් අදත් අල්ලගත්තද අපි. නඩු දැම්මාට දඩ ගැහුවට කොරෝනා නවතින්නේ නෑනේ. මම දන්නේ නෑ එයාට කොහොම බෝ උනාද කියලා ඒත් කෝරෝනා ඇවිදින්නේ නෑනේ. අපිම තමා කොරෝනා උසසන් එහෙ මෙහේ යන්නේ."

ඇය තවමත් ඔහුගේ උරහිස මත කදුලු සලයි. එය සිදුවීම් දාමයම නිසා පත්වූ බියත් වේදනාවත් නිසාය. 


"මේ අහන්නකෝ උත්පලා, ඔයා දැන් මෙහෙම දුක් වෙලා තේරුමක් නෑනේ. අපි ඔයාට ආරක්ශාවක් කරලා, ඒ ගෑනු කෙනාගේ නමින් අටපිරිකරක් පූජා කරලා අපි ඒ ආත්මයට පිං දෙමු. " 

ඔහු ඇගේ හිස පිරිමදින ගමන් පැවසුවේය.


"භාතිය මේ ඔයාමද, ඔයා හොල්මන් විස්වාස කරනවා! අද කොහෙන්ද ඉර පෑයුවේ" උත්පලා විසල් කරගත් දෙනෙතින් හා සිකුමාල සිනාවකින් මුව සරසා ගනිමින් ඇසුවාය.


"ඇයි මොකෝ, යනවා යන්න මොට්ට කෙල්ල. නෑ නෑ ඉතින්. මලගිය ආත්මයක් ආයේ ඇවිත් ඉන්නවා කියන එක ඇස් දෙකෙන් දැක්කම පොලිස් එස්අයි කෙනෙක් උනත්, කොහොම විස්වාස නොකර ඉන්නද නේද.!.


"ආ .මේ.. ඒක නෙවෙයි. මේ පිරිත් නූල වරු තුනක් යනකල් අපිව රකීවී. මම උපන්දිනේ වෙනුවෙන් ඔයාට එන ගමන් අරන් ආවේ."

කියමින් ඔහු ඇගේ අතේ පිරිත් නූලක් බැන්දේය. 


"අපොයි, තව ටිකකින් ඒකත් අමතක වෙනවා, යාලුවෝ ටික මග එනවලු. එතකල්

, හැපි බර්ත් ඩේ මයි ස්වීට් හාර්ට්."


නිමි


හොල්මනක් ඇවිත් මිනිස්සු මරන සාම්ප්‍රදායික කතාවෙන් වෙනස් වෙලා ලිව්ව කතාවක්. පුලුවන්නම් කතාව ඇතුලේ දෙන පණිවිඩේ හොයාගන්න බලන්න. 😁😁😁😁

කෙටි කතාවක් කියන්නේ සාරාංශ කල නව කතාවක් නෙවේ

Report Page