🤓

🤓

DMOPA2

උසස් පෙළ ජීව විද්‍යාව හදාරන සියලු දෙනාගේම පාහේ එකම අරමුණ වන්නේ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් වීමයි. ඒ අරමුණ ඉෂ්ට කරගැනීමට ඔබට යා යුතුවන ගමන් මඟ ගැන ඔබ දැනුවත්ද? අනාගතයේ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් වීමට සිහින දකින සියලුම දෙනාටත් අන් අයගේ දැනගැනීම පිණිසත් මෙය පලකිරීමට සිතුවා.


**වෛද්‍ය පීඨයට ඇතුළත් වන්නේ කෙසේද?


ඔබ අපි සියලුදෙනාම දන්නවා A/L එහෙම නැත්නම් උසස් පෙළ විභාගය කියන්නේ ඉතාමත් තීරණාත්මක වගේම අසීරු කඩයිම් විභාගයක් කියලා.


ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් එහෙමත් නැත්නම් ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් වලට ඉහලම සාමාර්ථ ලබා ගත යුතුය. AAA, AAB හෝ ABB වැනි ඉහළ සාමාර්ථයක් මෙන්ම 1.9 ඉක්මවූ ඉහළ Z අගයක් ( Z Score ) වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට අවශ්‍ය වෙනවා. ඒ නිසාම වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට ඉතා විශාල තරඟයක් පවතිනවා. සාමාන්‍යයෙන් එක වසරකදී ජීව විද්‍යා අංශයෙන් අපේක්ෂකයන් 50000ක් පමණ පෙනී සිටියත් වෛද්‍ය පීඨයකට ඇතුළත් විය හැක්කේ දිවයිනෙන්ම 1200ක් පමණ වූ සීමිත පිරිසකටයි. එයින්ම පෙනෙනවා නේද තරඟයේ තරම. මේ සඳහා නොපසුබස්නා වීර්යයෙන් මෙන්ම දැඩි කැපවීමකින් උසස් පෙළට සූදානම් වීම අනිවාර්ය වෙනවා.


අපි හිතමු ඔබ උසස් පෙළ ඉහළින්ම සමත්ව වෛද්‍ය පීඨයකට සුදුසුකම් ලබනවා කියලා. මෙතැන් සිට දැන් වෛද්‍යවරයෙක් වෙන ගමන ගැන කෙටියෙන් විමසා බලමු.


**මුලින්ම අපි බලමු වෛද්‍ය උපාධිය ගැන.


MBBS ( Bachelor of Medicine and Bachelor of Surgery ) එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාවේදී සහ ශල්‍ය විද්‍යාවේදී උපාධිය තමයි ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ වලින් ලබා දෙන වෛද්‍ය උපාධිය වන්නේ. නමුත් ඇමරිකාව, එංගලන්තය වැනි බොහෝ බටහිර යුරෝපා රටවල MD කියන වෛද්‍ය උපාධිය තමයි ඒ රටවල් වල වෛද්‍ය පීඨ වලින් ලබා දෙන්නේ. MBBS, MD මේ සියලු වෛද්‍ය උපාධි ලෝකයේම පිලිගත් වෛද්‍ය උපාධි වෙනවා.


MBBS වෛද්‍ය උපාධිය අවුරුදු 5 1/2 ක් 6 ක් දක්වා කාල සීමාවක් පවතිනවා. මෙය ද්විත්ව උපාධි පාඨමාලාවක්. ඒ කියන්නේ ප්‍රථම උපාධි 2 ක් තනි උපාධියක් ලෙස අවසානයේ පිරිනමනවා. ඉතාමත් සංකීර්ණ මෙන්ම ඉතා විශාල දැනුමක් වෛද්‍ය සිසුන්ට ලබා ගැනීමට සිදුවෙනවා. ඉහළ දැනුමක් සහ කුසලතාවක් සහිත වෛද්‍යවරුන් බිහිකිරීමෙන් රෝගී සත්කාරය ප්‍රශස්ථව පවත්වා ගැනීම අරමුණයි.


MBBS වෛද්‍ය උපාධිය ලබා දෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ පහතින් දැක්වෙනවා.


1. කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය.

2. පේරාදෙණිය වෛද්‍ය පීඨය.

3. රාගම වෛද්‍ය පීඨය.

4. කරාපිටිය වෛද්‍ය පීඨය.

5. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය.

6. රජරට වෛද්‍ය පීඨය.

7. යාපනය වෛද්‍ය පීඨය.

8. නැගෙනහිර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය

9. සබරගමුව වෛද්‍ය පීඨය.

10. වයඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය.


මීට අමතරව,


KDU එහෙම නැත්නම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය.


දැන් අපි බලමු MBBS උපාධියේ විෂය නිර්දේශය එහෙම නැත්නම් විෂය අන්තර්ගතය පිළිබඳව. මෙහිදී ප්‍රධාන විෂයන් 14 ක් අධ්‍යයනය කිරීමට සිදුවෙනවා.


1. Anatomy කාය ව්‍යවච්චේද වේදය

2. Physiology භෞත වේදය

3. Biochemistry ජෛව රසායන වේදය

4. Microbiology ක්ෂුද්‍ර ජීව විද්‍යාව

5. Parasitology පරපෝෂ වේදය

6. Pharmacology භිෂග් වේදය

7. Community medicine ප්‍රජා වෛද්‍ය විද්‍යාව

8. Pathology ව්‍යාධි වේදය

9. Forensic medicine අධිකරණ වෛද්‍ය විද්‍යාව

10. Medicine වෛද්‍ය විද්‍යාව

11. Paediatrics ළමා රෝග වේදය

12. Gynaecology and Obstetrics ප්‍රසව හා නාරි වේදය

13. Surgery ශල්‍ය වේදය

14. Psychiatriy මනෝවෛද්‍ය විද්‍යාව


මීට අමතරව රෝහල් වල සායනික පුහුණුව ලබන අතරවාරයේ පහත සඳහන් විෂයනුත් අධ්‍යයනය කිරීමට සිදුවෙනවා.


Neurosurgery ස්නායු ශල්‍ය වෛද්‍ය වේදය

Oncology පිලිකා රෝග වේදය

Dermatology චර්ම රෝග වේදය

Orthopaedics විකලාංග ශල්‍ය වේදය

Anasthesiology නිර්වින්දන වෛද්‍ය වේදය

Radiology විකිරණ වේදය

Cardiology හෘද රෝග වේදය

Rheumatology හන්දි හා හන්දි ආශ්‍රිත රෝග පිළිබඳව

Neurology ස්නායු වෛද්‍ය විද්‍යාව

Pulmonology පුප්ඵුෂ වේදය / ශ්වසන රෝග පිළිබඳව

Otorhinolaryngology උගුර, කන, නාසය රෝග පිළිබඳව

Ophthalmology අක්ෂි රෝග විද්‍යාව

STD ලිංගාශ්‍රිත රෝග පිළිබඳව

Urology මෞත්‍ර ලිංගික රෝග පිළිබඳව

Nephrology වකුගඩු රෝග පිළිබඳව


සමහර වෛද්‍ය පීඨ සැලකූ විට ඔවුන්ට ආවේණික විෂය සැකැස්මකට සහ පෙලගැස්මකට සිදු කරනු ලැබූවත් පොදුවේ වෛද්‍ය පීඨයක පහත සැකැස්මට විෂයන් සහ විභාග පෙළගස්වා තියෙනවා.


**පලමු වසර සහ දෙවන වසර


Anatomy, Physiology සහ Biochemistry ප්‍රථම වසර දෙක පුරාවටම අධ්‍යයනය කරනු ලබන අතර මේවා පූර්ව සායනික විෂයන් ( Pre clinical subjects ) ලෙස හඳුන්වනවා. ප්‍රථම වසර දෙක අවසානයේ කඩයිම් විභාගයක් පැවැත්වෙනවා. එය 2nd MBBS Examination ලෙස හඳුන්වනවා. බොහෝ වෛද්‍ය පීඨ වල මෙය කඩයිම් විභාගයක් වන අතර වෛද්‍ය සිසුන්ට මෙයට පෙනී සිටිය හැක්කේ සිව් වතාවක් පමණි. ඒ කිසිඳු අවස්ථාවක දී වත් සමත් වීමට නොහැකි වුවහොත් ඔහුට හෝ ඇයට වෛද්‍ය අධ්‍යාපනය හමාර කර ආපසු පැමිණීමට සිදුවනු ඇත.


2nd MBBS විභාගයට අමතරව සෑම සමාසිකයක් ( Semester ) අවසානයේම පවත්වන විභාග වලට පෙනී සිටීම සහ සමත්වීම අනිවාර්ය වේ. මෙය සමත් වන වෛද්‍ය සිසුන් පමණක් තුන්වන වසරට සමත් වේ.


**තෙවන වසර


තෙවන වසරේ සිට රෝහල් වල සායනික පුහුණුව ඇරඹේ. එහිදී සෑම දිනකම උදෑසන 8 සිට දහවල් 12 දක්වා වාට්ටු වල සායනික පුහුණුවේ යෙදෙන අතර සාමාන්‍යයෙන් දහවල් 1 සිට 4 හෝ 5 දක්වා වෛද්‍ය පීඨයේ දේශන ( Lectures ) පැවැත්වේ. තවද බොහෝ දිනවල රාත්‍රී 6 සිට මධ්‍යම රාත්‍රිය වනතෙක් රාත්‍රියේත් වාට්ටු වල සායනික පුහුණුවේ යෙදීමට සිදුවේ.


තෙවන වසර අවසානයේ 3rd MBBS part 1 විභාගය පැවැත්වෙන අතර එයට Microbiology සහ Parasitology විෂයන් අන්තර්ගත වේ. මීට අමතරව Semester Exams ද පවත්වයි.


**සිව් වන වසර


සිව් වන වසරේ දීත් තෙවන වසරේ මෙන්ම සායනික පුහුණුව මෙන්ම දේශන ද පැවැත්වේ.


සිව් වන වසර අවසානයේ දී 3rd MBBS part 2 විභාගය පැවැත්වේ. එයට Pharmacology, Community medicine, Pathology සහ Forensic medicine අයත් වේ. මෙහිදී ද Semester Exams පැවැත්වෙන අතර ඒවා සමත් විය යුතුය.


**පස්වන වසර


වෛද්‍ය ශිෂ්‍ය ජීවිතයේ අවසාන වසර මෙන්ම අසීරුම අවධියයි. මෙහිදී දවස මුළුල්ලේම සායනික පුහුණුවේ යෙදීමට සිදුවේ. මෙහිදී මාස 2 බැඟින් Medicine, Paediatrics, Gyn & Obs, Surgery සහ Psychiatry විෂයන් යටතේ සායනික පුහුණුවේ යෙදීමට සිදුවේ.


පස්වන වසර අවසානයේ අවසන් වසර වෛද්‍ය උපාධි විභාගය පැවැත්වේ. Final MBBS Examination


වෛද්‍ය පීඨයේ සියලු දේශන සඳහා 80% ක පැමිණීම ( Attendance ) මෙන්ම සායනික පුහුණුව ( Clinicals ) සඳහා 100% ක පැමිණීම අනිවාර්ය වේ.


Final MBBS විභාගයේ MCQ ප්‍රශ්න පත්‍රය Common MCQ ප්‍රශ්න පත්‍රයකි. එනම් වෛද්‍ය පීඨ සියල්ලටම ලැබෙන්නේ පොදු ආකෘතියකින් යුතු MCQ ප්‍රශ්න පත්‍ර වේ. ඉන් ලබා ගන්නා ලකුණු පදනම් කර දිවයිනේ Merit List ( කුසලතා ලැයිස්තුවක් ) සකසන අතර එයට අදාළව තමාට අවශ්‍ය රෝහල් ඉල්ලීමට හැකි වේ.


Final MBBS සාර්ථකව නිම කිරීමෙන් පසුව සීමාවාසික වෛද්‍යවරයෙක් ( Intern House Officer ) ලෙස අවුරුද්දක දැඩි සීමාවාසික පුහුණුවකට ( Internship ) යටත් වීමට සිදු වේ. බොහෝ විට සාමාන්‍යයෙන් අවුරුද්දේ සියලුම දිනවල පැය 24 ම රෝහල තුල සේවය කිරීමට සිදුවේ. මෙය සාර්ථකව අවසන් කරන පිරිසට පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ( SLMC ) ලියාපදිංචිය ලැබෙන අතර ඉන්පසුව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කිරීමට අවස්ථාව සැලසේ.


වෛද්‍යවරයෙක් වීම ඉතාම අසීරු කාර්යයකි. වෛද්‍ය සිසුන් අවුරුදු 5 ක් මුළුල්ලේ දිවා රාත්‍රී වෙහෙසෙමින් තම අරමුණ සාක්ෂාත් කිරීමට වෙහෙසේ.


ඉතින් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වන ඔබගේ බලාපොරොත්තුවත් වෛද්‍යවරයෙක් වීම නම් ඔබම සිතා බලන්න ඔබ ඔබේ විභාගයට කැපවන ප්‍රමාණය ඇතිද කියලා. කැපවීමකින් තම අරමුණ කරා ගියොත් වෛද්‍ය සිහිනය තවදුරටත් සිහිනයක් වන්නේ නැත.


සියලු හිමිකම් මුල් හිමිකරු සතුය

Report Page