🖤

🖤


මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි_________🖤

Short|story by Poorni...

"තාත්ති මගෙ වැඩේ හරිදෝ...."

මගේ පණ... මගේ මැණික... මගේ හැමදේම... මගෙ දෝණි..

රටම දන්න හඩක් එයා... මගෙ සුරංගනාවි ගායිකාවක්.. එයාගෙ හැම සිංදුවක්ම මම ලියපුවා.. වචන නෙවෙයි.. ඒ හඩයි හදවතට කතා කරන්නෙ.. වචන නිකම්ම හිතලුවක් විතරයි.

"තාම නැහැ දෝණි... මේ දවස්වල ඔලුවට කිසි නිදහසක් නෑනෙ මැණික.... අනේ මන්දා කිසිම අදහසක් එන්නැහැ."

මගෙ බෙල්ලෙ එල්ලිගෙන කියවන කෙල්ලගෙ කම්මුලකින් ඇදලා මම කිව්වෙ කෙල්ලගෙ අත් එහෙම්ම මගෙ ඔලුවෙ නතර වෙද්දි.

"ටිකක් රෙස්ට් කරන්න තාත්ති... ඔයා මං වෙනුවෙනුත් කොච්චර නම් මහන්සි වෙනවද..."

දෝණිගෙ හීනි ඇගිලි කොණ්ඩෙ ඇතුලෙ සනීපෙට යද්දිම මට මතක් වෙන්නෙ එයාව. දෝණිගෙ ඇස් හිනාව ඒ හැමදේම එයා වගේ. දෝණිගෙන් මට මැවිලා පේන්නෙම එයාව..

හීනියට ඇස් වලට කදුලක් උනද්දි බර හුස්මක් පිටවුනේ දෝණිත් මං දිහා බලද්දි.

"ඇයි තාත්තී...."

"ඔයාගෙ අම්මිව මතක් වුනා..."

ඒ ඇස් වලත් කදුලු..

"මං නිසා නේද.............."

"නෑ දෝණි නෑ... එහෙම කියන්නවත් හිතන්න එපා... මගෙ දෝණි මට ලැබුනු වටිනම වස්තුව අම්මි තරමටම හරිද...."

ඒ ඇස් වල කදුලු පිහින ගමන් මම කිව්වෙ.

"හරි එහෙනම් මෙහෙම කරමු... හැමදාම තාත්ති සින්දු ලියනවනෙ. මේ පාර අම්මි ගැන නැත්තම් ඔය දෙන්නගෙ කතාව නැත්තම් අම්මිට කියාගන්න බැරි වුනු දෙයක්... ලියනවද.... පුලුවන්ද....?"

"හා මං ලියන්නම් අනිවාරෙන්....." ලාවට හිනාවක් දාලා කෙල්ල කාමරේට ගියෙ. දන්නව දුකෙන් කියල. වෙන දරුවොන්ට වගේ අම්මගෙ උණුහුම ආදරේ එක පැයක්වත් විදින්න බැරි වුනා මගෙ දෝණිට... මොනතරම් පව්කාරද අපි...

හිරිගඩු පිපෙන හීතලේ ජනේලෙත් ඇරගෙන ටේබල් ලෑම්ප් එකත් ඔන් කරගෙන කොලේකුත් අරගෙන ඉදගත්තෙ ලියන්න. ඉස්සර දවස්වල මගෙ අතේ එල්ලිලා හීතලේ ගැහි ගැහි නුවර වැව රවුමෙ ඇවිද්ද තරම්... මම ලියන හැම කවියක්ම කටපාඩම් කරගෙන ඇවිත් මටම කියපු තරම්... මම හැමදාම එයාවම ලියද්දිත් මෙව්වා ලියන්නෙ මට නෙවෙයිද අහ අහ කෝලම් කරපු තරම්....

නිශාරා.......

ඒ මූණ මැවි මැවි පේද්දි ඔලුව පුපුරන්න වගේ කැක්කුමක් දැනුනෙ.. අවුරුදු විසිතුනක්... ලේසි නැහැ මැණික... පැනඩෝල් දෙකක් අරගෙන එකපාරම කටට දාගෙන වතුර ටිකක් බිව්වෙ පපුව හාරගෙන ඒක කිදාබහිනව වගේ දැනෙද්දි. පෙතිවලට නිවන්න බැහැ හදවතේ ඇවිලෙන ගින්න. මටවත් තෝරගන්න බෑ දැන් මගේ හැගීම්.. හැගීම් බැදීම් හැමදේම එකට පැටලිලා.

කොහොමද පටන් ගන්න ඕනෙ.. කොතනින්ද පටන් ගන්න ඕනේ..මොනවද ලියන්නෙ...

මට තේරෙන්නෙ නැහැ..

එදා හවස කලින්ම මම ගෙදරට ආවෙ දවස් ගානක ඉදලා පන්සලට යං කියල කිව්වත් එක්කන් යන්න බැරි වුන නිසා. මම එනකොටත් සුදු පාට ගවුමක් ඇදගෙන දණිස ළගට දිග කොන්ඩෙ උඩ ඉදලා මොකක්දෝ මන්දා කරල ගොතාගෙන මල් එකකුත් අතේ තියන් බලන් ඉන්නව. ලස්සනයි.. නෑ පින් පාටයි.. හිනා වෙද්දි වලගැහෙන කම්මුල්.. තද කලු බෝල ඇස්.. දකුණු පැත්තෙ නළ දත.. පිස්සුවක්... ඊටත් වඩා....මගේ ලේ ඒ කුසේ පණ ගැහෙද්දි ඒ දැනෙන හැගීම... ඒ මගේ පණ.. තවත් ජීවිත දෙකක් දරාගෙන එයා ඒත් හිනාවෙනව. දන්නව අමාරුයි කියල.. ඒත් හිනාවෙනව. මම ආපු ගමන් අමාරුවෙන් නැගිටල ඇවිත් මට තුරුලු වුනේ ඒ ඕඩිකොලොන් සුවදත් එක්ක මුහු වෙච්ච ආත්මීය සුවද හදවතේ නහර වලටම කිදා බහිද්දි. දැනන් හිටියෙ නෑ ඒ අන්තිම වතාව කියල.. ඒ සුවද විදින.....

වැල් වටාරම් නැතුව කෙටියෙන් වුනත් එදා මට කියාගන්න බැරි වුනා.හැබැයි මම අදටත් කියනව.

මැණික.. ඔයා තමා මගෙ පරවි රැජිණ..එදා වගේම අදටත් මම ආදරේ ඔයාටම විතරයි...මදු මලක් වගේ සියුමැලි ඒ ගතිගුණ... ඒ දවස්වල මට තිබුනු එකම සතුට ඔයා ගැන ලියන එක මැණික... දන්නෙ නැහැ... දන්නෙ නැහැ ඇයි කියල... දෛවය හැමදේම ලියන්නෙ මකාගන්න බැරිම විදියට.

පපුව හාරගෙන ඒ සුවද එදා දැනෙනකොට එකපාරම එයාගෙ අතින් මගෙ ශර්ට් එක පොඩි වෙනව දැනුනෙ..

"නිශාරා... සුදූ... මොකද මේ... ඇයිහ්.....?"

"අනේ...සංඛ... අමා...රු..යිහ්.. අනේ...හ්...ආඅ...."

නැවතුමක් නැතුවම ඒ ඇස් කෙවෙනි අගින් කදුලු ගලන් යද්දි කෙල්ලව මම අත් දෙකට උස්සගෙන කාර් එකට ආවෙ. හොස්පිට්ල් එකට ආවෙ මොන සිහියෙන්ද කියන්නවත් මම දන්නෑ..ගෙනාව ගමන්ම එයාව තියටර් එකට ගත්තෙ මම එතනම පුටුවකට කඩන් වැටෙද්දි.

දැන් ඩොක්ටර් කෙනෙක් එළියට එයි.. දැන් එයි කිය කිය බලන් හිටපු තරමක්... ආවා... ඔව් ඩොක්ටර් කෙනෙක්..

"ඩොක්ටර්... මගෙ වයිෆ්... මගෙ බබාලා දෙන්නා...ඩොක්ටර් එයාල හොදින්ද..."

"ඕහ් මිස්ටර්... මම ඔයාට කලින්ම කියලනෙ තිබුනෙ... බබාලා දෙන්නෙක්ව දරාගන්න තරම් එයා ශක්තිමත් නැහැ කියල.. අපි කරන්න පුලුවන් හැමදේම කලා. ඒත් එක බබෙක්ව බේරගන්න අපිට බැරිවුනා.. ඔයාගෙ වයිෆ්.... එයාට ටිකක් අමාරුයි. ඔයා ගිහින් කතා කරන්න....... හැමදේම දෙවියන්ට භාරයි පුතා...."

කොහොමද.......කොහොමද එහෙම වෙන්නෙ...... අලුතින් ගෙදරට එන්න යන රෝස මල් දෙක වෙනුවෙන් හැමදේම ලෑස්ති කරල තිබුනෙ....ඒත් එක්කෙනෙක් දැනටම අපිව දාලා ගිහින්.. පිස්සුවෙන් වගේ මම ඇතුළට ගියෙ මගෙ මැණිකව බලන්න. ඇස් පියාගෙන හයියෙන් හයියෙන් හුස්ම ගන්න එයාව දැක්කම බය නොහිතුනාම නෙවෙයි.

ලියාගන්න බැරුව අත වෙව්ලනව. සීතල හුළග හදවතම ගල් කරලා වගේ. තාමත් ඒ මොහොත මතක් වෙද්දි හිත ගැස්සෙනව මැණික. හැමදේම එක තත්පරේකට අමතක කරලා වචනයක් හරි ලියන්නම් කියල කොළේ දිහා බලාගනිද්දි මට මැවි මැවි පේන්නේ ඒ මූණ.. ඉතින් ඇස් පියවෙන්නෙ ඉබේටම.කොච්චර ලියන්න හැදුවත් ලියාගන්නම බැහැ. හදවත ගොලු වෙලා වචන එන්නෙත් නැති තරම්.....

"සුදූ........අනේ මැණික....... ඇස් අරින්න.....අපේ දෝණි වෙනුවෙන්......."

ඒ අතක් අල්ලගෙන මම තව මොන මොනවදෝ කියෙව්වා. මටත් සිහියක් නැහැ. රෝස පාට ඇතිරිල්ලක ගුලිවෙලා මලක් වගේ අපේ දෝණි නිදි. තව කෙනෙක් එතන ඉන්න ඕනෙ ඒත් එයා තනියම.

"ආද..රෙයි.....නේ..ද..... මට........හැ..මෝට...ම.. වැ...ඩිය........ කිය..න්..න..කෝ......."

රතු වෙච්ච මූණ...වේලිච්ච කදුලු පාරවල්..... මම වුනත් කොහොමද දරාගන්නෙ ඔහොම අහනකොට......

හැමදාමත්..... හැම ආත්මෙකම.... එකම විදියට අඩුවක් නැතුව මම ආදරෙයි කියන්න හැදුවෙ....ඒත් ඊටකලින් ඒ අත කඩන් වැටුනා. මාව අපෙ දෝණිව තනිකරලා එයා යන්නම ගියා. අන්තිම මොහොතෙ එක වචනෙකින්වත් ඒ හිත සනසන්න මට බැරිවුනා.

එකම එක අවස්ථාවක් ආවොත් කෙටියෙන් හරි මම කියනව කියන්න තියෙන හැමදේම.

මගෙ ජීවිතේ කියල. එදා වගේම අදටත් ආදරේ ඔයාට විතරමයි කියල...

වෙව්ලන ඇගිලි එකට තද කරල පෑන අල්ලගත්තෙ ලියනවමයි කියල..

"තාත්තී....... තාත්තී....."

"ම්ම්ම්හ්හ්හ්......"

"ඊයෙ මුලු රෑම මෙතනද හිටියේ........?"

මට මේසෙ උඩම නින්ද ගිහින්. දැන් උදේ වෙලා. අතට යට වෙලා තිබුනු කොළේ අරන් දෝණි අතෙන් තිබ්බෙ ලාවට හිනාවෙලා.

"ඔන්න ඔයාගෙ සින්දුව...... "

"අම්මි ගැනද.........?"

වචන නෑ දෝණි අම්මි ගැන ලියන්න... වචන නෑ මට.......... ඒත්.....

"වෙන්න ඇති....."

දෝණි ආපහු කොලේ දිහා බලලා හයියෙන් වාක්‍යක් කියවනකොට ලියපු වචන අස්සෙන් මට මැවි මැවි පෙනුනෙ එයාව..

"මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි........"

අහන් ඉන්න බෑ මට.ලිව්වා තමයි ඒත් බැහැ. එහෙම්ම කාමරේට ගිහින් එයාගෙ ෆොටෝ එකක් තුරුල් කරගත්තෙ ආදරේට මට දෙන්න පුලුවන් එකම නිර්වචනෙ, එකම සමාන පදේ එයා විතරක්ම නිසා................

___________________

මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි...

ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි.....

අපමන සිතුවිලි බිහිවී තෙරපිලි එකිනෙක පැටලෙන්නේ

කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ

පරවි රැජිණියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

මදු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි

ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

හිත ගොලුවෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා

ලිපියෙහි කොළයට මුහුණ යොමන කොට නෙත් දෙක පියවෙනවා

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ

පරවි රැජිණියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි-------🖤

________පූර්ණි_________❤️

Report Page