...බෝසත් ආදරේ...

...බෝසත් ආදරේ...

Senadhi ♥️
..පෙලක් උන් ඉන්නවා , සිදුහත් යශෝධරා ට විතරක් ම පැරදිච්ච..


𖣔බෝසත් ආදරේ_(කෙටි කතාවකි)

___________________


"හාමිනේ....පොඩ්ඩක් මෙහාට ආවානම්"



"ආ.....ඇයි මහත්තයෝ"



"මේන්.....මේ තෙල් ඩිංගිත්ත....මගේ මේ කොන්දේ ගාලා හිටින්නකෝ.....ඇදුම් කනවා ඉන්න බෑ"



"කෝ.....දෙන්න.....අනේ මන්දා....මෙහෙම තෙල් සාත්තුව විතරක් කරලා වැඩක් නෑ මහත්තයෝ.....දොස්තර මහත්තයෙක් ට පෙන්නුවා නම් මක් වෙනවයැ"



"අනේ....ඕවා ඕන් නැහැ...තව ටික දොහකින් මැරිලා යන අපිට"



"මහත්තයා නම් එදත් එහෙමයි අදත් එහෙමයි.....පණ්ඩිත කමේ නම් අඩුවක් නැහැ"



"හ්ම්ම්....ඔය ඇති හාමිනේ....මට කට හෝදන්න වතුර ටිකක් දියන්කෝ"



"හා......ආ මෙන්න.....මන් හවසට නික කොළ ඇබිත්තක් තම්බලා තවන්නම්කෝ"



___________________



"හාමිනේ....ඔය රේඩියෝ එක පොඩ්ඩක් දාන්නකෝ....අද රටේ තොටේ විස්තරයක්වත් දැනගන්න"



"හ්ම්ම්....මේ ආ කහට උගුරක් බීලා හිටින්.....හකුරු ඇති ඔය පීරිසියේ"



"හහ්....."



"මහත්තයා දන්නවද......අර හන්දිය ළඟ නිල් පාට තීන්ත ගාපු ලොකු මහත්තයෙක් ගේ ගෙයක් තිබුණේ"



"ඕ....ඉතින්....."



"එහේ....අර.....ලොකු ගෑණු දැරිවියෙක් හිටියේ....මයේ හිතේ අර මහත්තයා ගේ දුව....."



"හා....මාත් කීප දවසක් ම දැක්කා ඉන්නවා එළියේ.....හරි ම ගුණයහපත් ඇති.....ඒ මහත්තයත් ඒ වගේ නේ"



"ඒකනම් මන් දන්නේ නෑ මහත්තයෝ.....ඒත් ඒ දැරිවි ඔය ෆෝන් එකෙන්දෝ කොහෙද හම්බෙච්ච කොල්ලෙක් එක්ක ගිහින් ලු"



"අපොයි දෙයියනේ....."



"ඒක තමයි මහත්තයෝ මාත් කිව්වේ.....මිදුල අතුගාන වෙලේ හන්දියට ගිහින් ආපු සුමනා කිව්වේ"



"එහෙමද.....මොනවද හාමිනේ...මේ වෙන විපරියාස......අද ඉන්න උන් ආදරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ආදරේ කරන්න යනවා....


හාමිනේට මතකද ඉස්සර......


මේ වගේ සැප සම්පත් නැති වුණාට ආදරේ සතුට උතුරන්න තිබ්බා...කොයි දවසකවත් ඔයි වගේ කතා ඇහුණේ නෑ....එහෙම වුණා නම් ඒ කලාතුරකින්......"



"මාත්....ඕක තමයි කල්පනා කළේ.....දැන් ඉන්න උන්ට සැප වැඩිද මන්දා...ජීවිතේ ගැන ඔච්චර අවතක්සේරුවෙන් හිතන්නේ"



"ඒකමත් නෙවෙයි හාමිනේ....දැන් ඉන්න උන්ට ඒකේ වටිනාකම දැනෙන්නේ නෑ...අතට පයට හැමදේම ලැබෙනවා නේ.....ඒකයි හරි හැටි තේරුමක් නෑ....ඉතින් කොහොමෙයි ජීවිතේ වටිනාකමක් දැනෙන්නේ...."



"හ්ම්.....දැන් ඒවා ගැන හොයන්න කෙනෙකුත් නෑ....හැල්මේ දුවනවා....හති වැටුන ම තමයි ආපස්සට හැරිලා බලන්නේ...එතකොට ඉතින් වෙන්න ඕන හරිය වෙලා"



"ඔව් හාමිනේ.....සල්ලි තිබුණ ට වැඩක් ද සතුටක් ආදරයක් ඒ ජීවිත වල නැත්නම්......


ඉස්සර සල්ලි නැති ම තරම් හැබැයි අනිත් දේවල් වලින් අහේනියක් තිබ්බද....


නෑ නේ...


දැන් ඉතින් ඔය සල්ලි තිබුණ ත් වැඩක් ද හාමිනේ.....ඒ මහත්තයැලට ඒ දැරිවි ගැන හොයන්න බැරි වුණා නේ......

දැන් විස්තරයක් එහෙම හොයාගෙනද...ඒ ගැන"



"තාම නෑ....කොළ කෑල්ලක් මේස උඩ තිබිලා හම්බෙලාලු"



"හහ්...වදාපු අම්මා අප්පොච්චිට වඩා ෆෝන් එකෙන් හම්බෙච්ච එකා ලොකු වෙලා...."



"කාට කියන්නද මේවා.....ඔය ෆෝන් එක නැතුවට කොච්චර ලස්සන ආදර කතා ඒ කාලේ තිබ්බද"



"ඒකනම් ඇත්ත හාමිනේ.....ඉස්සර හැමදේම වගේ වුණේ ලියුම් කඩදහියකින් නේ.......


ෆෝන් එකෙන් මැසේජ් එකක් කොටලා යවනවට වඩා සතියක් දෙකක් ලියුමක් එනකම් බලාන ඉන්න එක ආදරණීයයි.....


ලියුමක් ලියලා දාලා ඒකේ උත්තර ලියුම එනකම් සති ගණන් බලන් හිටියා.......


ඒ ආදරේ ඉවසීම ඉගැන්නුවා.....තරහක් මරහක් තිබ්බා නම් ඒවා සුන් බලන් ඉද්දී.....


දැන් ඉතින් මේ මැසේජ් එක යවන සුනංගුවට එකේ උත්තරේ ලැබිලා....


ඉතින් කොහෙද ඉවසීමක්....


තරහක් ඇති වුණොත් ගහමරා ගන්නවා......


දවස් ගණන් නොකා නොබී තරහා වෙලා ඉන්නවා රිදෙනවද බලන්න.....


ආයේ හිතුන ම යාළු වෙනවා....


රිද්ද රිද්දා ආදරේ කරනවා....


ආදරේ කියන්නේ ඒ වගේ රිද්ද රිද්ද ආදරේ කරන එකට නෙවෙයි හාමිනේ...


වචනයකින්වත් නොරිද්දන එකටයි ආදරේ කියන්නේ.......


ආදරේ කියන වචනෙට තේරුමක් මේකයි කියලා හරියට කියන්න බෑ....


මේච්චර දෙනවා කියලා මිනුමකින් මනින්නත් බෑ.....


උපමාවක් දීලා වර්ණනා කරලා අර්ථ දෙන්නත් බෑ....


ඒක හදවතට දැනෙන්න ඕන දෙයක්....


වචනයකට , තෑග්ගකට , හාදුවකට ආදරේ කියා පාන්න බෑ හාමිනේ.....


ඒ හැඟීම ඒ තරම් පූජනීයයි......


එහෙව් පූජනීය බාවයක් හිතේ දරන් ආදරේ කරන උන් කීයෙන් කී දෙනාද ඉන්නේ අද කාලේ....


බහුතරයක් ඉන්නේ බොරු වංචාකාරී ආදරයක් පෙන්නන්...


සල්ලි වලට නැත්නම් ලස්සනට , ආකර්ෂණේකට එහෙමත් නැත්නම් වෙන වෙන අවශ්‍යතා වලට......


ඕවට රැවටිලා ජීවිත විනාස කරගත්ත එවුන් ජීවිත නහගත්ත එවුන් කොයි තරම් නම් ඇතිද....


ඒවට පව කියලා අතරින්නද....


නැත්නම් අවාසනාව කියන්නද....


නෑ හාමිනේ....නොසැලකිලිමත් කම....


කිසි අවබෝධයක් නැතුව වැඩ කරන නිසා....


හාමිනේ කිව්වා වගේ හැල්මේ දුවන එක රාජකාරිය කරගත්ත ම වටේ ඉන්න ආදරණීය මිනිස්සු අමතක වෙනවා.....


මොකක් හරි වින්නැහියක් වුණා ම අඬලා දොඩලා.....කාටවත් ඇඟිල්ල් දික් කරලා වැඩකුත් නෑ....."



"හ්ම්...ඒකනේ මහත්තයෝ.....ඉස්සරත් එක්ක බලද්දී අද හැමදේම වෙනස් වෙලා නේද"



"හ්ම්...අද කාලේ මේ වෙන දේවල් දැක්කම ඉස්සරහට මොනවා වෙයිද මන්දා හාමිනේ.........


දැන් කාලේ ඉන්න ආදරේ කියන හැඟීම විඳපු උන් නෙවෙයි....ආදරේ ට පිස්සු වැටුන උන්.......


තමන්ගේ අම්මා තාත්තා ට වඩා ඉහ උඩින් ආදරේ තියන් ඉන්නේ.....


පත ෆෝන් එකක් ඔබ ඔබ මොනර කොළ දෙක තුනක් සාක්කුවේ තියන ඉන්න එකා දැක්ක ම හිතන් ඉන්නේ ඌ තමයි ලෝකේ ඉන්න වීරයා කියලා....


ගෙදර ඉන්න තාත්තා බල්ලට දාලා.....


නානප්‍රකාර නම් හෑලි කිය කිය තොල් රතු කරන් මූණ පොඩ්ඩක් සුදු කරන් ඉන්න ඉන්න කෙල්ල ලෝකේ වෙද්දී.....


ගෙදර ඉන්න අම්මා බල්ලට දාලා.......


එහෙව් කාලයක් මේක.......


අරවා දෙනවා....මට මෙච්චර වටිනවා......අච්චර කරනවා කිව්ව ගමන් රැවටෙනවා......


අරක දුන්නොත් මන් මෙහෙම කරනවා කියයි....විශ්වාසේ ගැන හෑලි කියයි....


ඕන් ඉතින් උපන්දා ඉඳන් ළඟ හිටපු අම්මා අප්පච්චි ව අවිශ්වාස වෙනවා....


ඒ අයටත් කොළේ වහනවා.....


ඊට පස්සේ කැලෑවක් පල්ලකට හරි , හොටෙල් කාමරයක් අස්සේ හරි අම්මයි තාත්තයි ඇහේ කනේ තියන් රැකපු තමන්ගේ මුළු ආත්මෙම අර වංචාකාරයොන්ට පුදලා ජිවීතේ වරද්දගන්නවා........."



"අනේ මන්දා.....මහත්තයෝ....කාගේ වැරදිද...කාට ඇඟිල්ල දික් කරන්නද කියලා....."



"ඔව්.......හැබැයි හාමිනේ වැරැද්දක් වුණා ට පස්සේ කාටවත් ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ.....වැරැදි නොවෙන්න හැමෝම වග බලාගන්න ඕන.......


දැන් අර මහත්තයලා වුණත් ඒ දැරිවි ට දැන් බැනලා වැඩක් නෑ....ඒ අය වුණත් දැනගන්න ඕන ෆෝන් එක දරුවගේ ළඟ තියෙද්දී ඒ ගැන විමසිල්ලෙන් ඉන්න.....කතාබහ කරන්නේ කාත් එක්කද එහෙම කියලා.........


ඒ වගේ ම ඒ ගෑණු දැරිවිත් දැනගන්න ඕන මේ මන් යාළු වුණ කෙනා කවුද.....කාගේ කවුද....එයා හොඳ කෙනෙක්ද.....කියලා හොයලා බලන්න.....


එහෙම නොවුණු නිසානේ අද ඔය වගේ නස්පැත්තියක් වුණේ......"



"ඒකනේ මහත්තයෝ....දැන් කොච්චර සල්ලි තිබ්බත් වැඩක් ද.....ඒ වෙච්ච වැරද්ද හදන්න බෑ නේ...."



"හ්ම්ම්.....හාමිනේට මතකද කොසොල් රජ්ජුරුවෝ දැක්ක හීන දාසය....."



"මට මතකයි මහත්තයෝ...."



"ඒ හීන වල තිබ්බා නේද හීනයක්....මෙහෙම....රජ්ජුරුවන්ගේ උයනේ තිබ්බ කුඩා ගස් වල ඵල දරලා තියෙනවා......


ඒක බුදුන්ගෙන් ඇහුවම උන්වහන්සේ දේශනා කළේ.....අනාගතේ දී නිසි වයසට එළඹීමට පෙර විවාහ කරගෙන දරුවන් වදනවා කියලා නේ......."



"ඔව් ඉතින්....."



"ඉතින් හාමිනේ.....ඒ හීනේ අද හැබෑ වෙලා නේද......


අද කාලේ ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් බොරු ආදරේ ට මුලා වෙලා ජීවිත වරද්දගන්නවා....දුක් වෙනවා......අන්තිමේ ඒවයි ප්‍රතිඵල හැටියට දරුවෝ බඩට ආව ම උන් වදලා ඒ නොදරුවොත් දුක් ගොඩකට දානවා.....


සමහරු ඒ දරුවෝ බඩේ ම මරලා දාලා සංසාරේ දික් කරගන්න පාපකර්ම වලට කරගහ ගන්නවා.....


එහෙව් උන් මේ සමජේ කොයි තරම් නම් ඉන්නවද හාමිනේ.....


ඇත්තටම ආදරෙයි නම් ඒ වගේ අසමජ්ජාති වැඩ කරනවද හාමිනේ.....


ආදරෙ කියන දේ අද සමාජේ ඇතුළේ විනාස වෙල ගිහින්....


ලස්සන සුන්දර ආදර කතා නෑ....අද සමාජේ.....


අද තියෙන්නේ මොකක් හරි දේකට කෑදර වෙච්ච කෑදර කතා....."



"ඕවා.....හිතද්දී දුකයි මහත්තයෝ....වෙන විනාසේ මොකක්ද මන්දා.....

කොහොම හරි කතාවෙන් කතාව වෙලාව යනවාවත් දැනුණේ නෑ...

මන් උඩහට ගිහින් නික කොළ ඇබිත්තක් කඩන් එන්නම්....

ඔය වතුසුද්දමල් ඩිංගක්කඩලා තියන්නකෝ....."



"හා....හාමිනේ...."



___________________



"මහත්තයෝ...මුණින් අතට ඇල වුණා නම්....."



"හා...හරි....හාමිනේ...කොන්ද මැද්ද වෙන්න තමයි කැක්කුම් වැඩි"



"හ්ම්....දැන් ආයේ දෙපාරක් විතර තෙල් ටිකක් ගැල්ලුවම හරි යයි...."



"හාමිනේ....අපි හෙට මාළිගාව පැත්තේ ගිහින් ආවොත් මොකද"



"ඒ මොකෝ....එක පාරට ම"



"නෑ...හිතුනා...යන්නත් බැරි වුණා ගිය සතියෙන් පස්සේ....

මල් , තෙල් ටිකක් ලැහැස්ති කරගෙන උදෙන් ගිහිල්ලා එමු....."



"හ්ම්...යමු එහෙනම්...මන් කිරිපිඬු එහෙම හදාගන්නම්....."



___________________



"අද වැඩිය කට්ටිය නෑ නේද් හාමිනේ....."



"හ්ම්...මහත්තයෝ....අපි අතන බංකුවෙන් වාඩි වෙමු ගිහින්....

මහත්තයට මතකද....අපි හාද වෙලා හිටිය කාලේ...."



"මට කොහොමද හාමිනේ එහෙම අමතක වෙන්නේ.....මට මතකයි....හාමිනේට මොකද ඒක මතක් වුණේ"



"ආන් අතන බංකුවේ ඉන්න තරුණ දරුවෝ දෙන්නා දැක්ක ම ඒ කාලේ මතක් වුණේ"



"අහ්...හාමිනේට මතකද......අපිත් ඔහොම ඇවිත් බංකුවක වාඩි වෙලා වරු ගණන් කතා කර කර හිටියා..."



"මට මතකයි...ඒ දවස් කොච්චර ලස්සනද මහත්තයෝ...."



"ඒ වගේ ලස්සන දවස් මතක විදියට ඉතුරු වෙන්නේ කීයෙන් කී දෙනාටද....

රිදෙන මතක තියන ආදර කතා වලට වඩා ලස්සන මතක තියෙන ආදර කතා හරි අඩුයි දැන් ලෝකේ...."



"හ්ම්......ඉස්සර හවස පුරාවට ම හිටියේ මේ වැව රවුමේ....."



"හාමිනේ ට මතකද ඒ දවස් වල අපිත් එක්ක ආපු සමරෙලා..."



"අහ්...ඔව් මට මතකයි....ඒත් ඒ සමබන්ධේ අතරමඟ නැවතුණා නේද....මොකක්ද අර නොගැළපෙන කතාවක් අල්ලන්"



"හ්ම්ම්....ඔව්......ඒ කාලේ නම් කිව්වේ කාට නොගැළපුනත් මට ගැළපුනා ම ඇති කියලා නේ......ඒත් කල් යද්දී එහෙම නෑ..........


හැමෝම එහෙමයි....මුලින් මොන කතා කිව්වත් හරි ගැළපීමක් , හරි තේරුම් ගැනීමක් , දෙන්නා අතරේ හරි අවබෝධයක් නැත්නම් ඒ සම්බන්ධේ ඇතුළේ ප්‍රශ්න ගොඩයි....ඒවා තමයි අන්තිමට දික්කසාදෙන් කෙළවර වෙන්නේ........"



"හ්ම්...ඔව් මහත්තයෝ....අනිත් එක මහත්තයෝ.....දැන් කාලේ ඔය කසාද කටු ගෑවෙන්නේ වෙන හොර සම්බන්ධ නිසා නේ..........."



"හ්ම්ම්....ඒක නම් පුදුම අවාසනාවක් තමයි හාමිනේ....ඒක හිතකින් සෑහෙන්න බැරි උන් අද ඉන්නේ.....


ගෑණු පිරිමි කියලා භේදයක් නෑ දැන් ඒවට...දොගොල්ල ම ඒ වැරැද්ද කරනවා......


කසාද බඳිද්දී කොළේකට විතරක් ඒ යුතුකම් , වගකීම් , පොරොන්දු සීමා වෙලා වැඩක් නෑ.......


ඉන්න තුරාවට ඒවා රකින්න ඕන....


එහෙම නැති වෙද්දී තමයි වෙන තැන් හොයන් යන්නේ......


සමහර වෙලාවට කියනවා නේ දැනෙන තැන නවතිනවා කියලා....ඒත් හාමිනේ එහෙම දැනෙන තැන සම්මත නැත්නම් ඒක අසම්මතයක් ම තමයි....


ඒක හරි කියලා ඔප්පු කරන්න මේ සමාජ ක්‍රමේ ඇතුළේ බෑ......


ඒ දේ නිසා දරුවෝ , දෙමව්පියෝ අසරණ වෙනවා....


ගොඩක් වෙලාවට දරුවෝ නාස්ති වෙනවා....


අන්තිමේ දි මැරෙන්න වෙන්නෙත් වැරදි කාරයෙක් වෙලා....එතකොට ඔය මහ ලොකු දැනුණ ආදරේ කතා කරන්නේ නෑ......


අනිත් එක තමයි හාමිනේ....එක ආදරයක් ළඟ තියාගෙන තවත් ආදරයක් හොයන් යනවා කියන්නේ ඒ එක කෙනෙක්ට වත් ඇත්තටම ආදරේ නෑ කියන එක....බොරු ආදරය විතරයි ඒ තැන් වල තියෙන්නේ......එහෙම අයට කවදාවත් ඇත්තටම ආදරේ කරන කෙනෙක් ලැබෙන්නෙත් නෑ.....


ඒ වගේ ම තමයි අපි මේ සසරේ පුරාවට කරපු පින් පව් අනුව ඒ ඒ කර්මානුරූපිව කෙනෙක් බැඳිලා ඉන්නවා....ඒ කෙනා කොයි වෙලාවක හරි අපිට ලැබෙනවා.....

ඊට කලින් කොච්චර දැඟලුවත් වැඩක් නෑ......"



"ඔව් මහත්තයෝ....හරි ම කෙනා කොහේ හිටියත් ලැබෙනවා.....හැබැයි අද කාලේ ඉන්න උන් ට තියෙන කලබලේට හොඳ ම කෙනාත් මඟ ඇර ගන්නවා.."



"හ්ම්..ඒ වගේ ම තමයි හාමිනේ.....අද කාලේ ආදර කතා ඇතුළේ පටන් ගන්න කොට උවමනාව අන්තිම වෙද්දී නෑ....දිගටම රැඳෙන්න ඕන කියන බලාපොරොත්තුව තියෙන්නේ ටික දෙනාටයි....


අතරමඟ අතෑරලා අසරණ කරන්නේ නැති එහෙම ආදර කතා ලැබෙන්නේ පිනට , වාසනාවට......


මහ ගොඩක් නැති වුණා ට එහෙම ආදර කතා තියෙනවා හාමිනේ......


එකෙක් වෙනුවෙන් ආදරේ පපුව ඇතුළේ පිරිච්ච....

ඒ පපුව අස්සේ තියන් හුස්මටත් පේ වෙච්ච....

පුංචි වෙනසක් පවා ඒ පපුවට දැනිච්ච....

එක ම රූපෙකෙට බැඳිලා....දකින හීනයක් පවා ඒ රූපේ වෙච්ච....

මැරෙනකන් ඇස් මානේ තියන් පරිස්සම් කරන්....ආත්ම ගාණක් බැඳිච්ච....


පෙලක් උන් ඉන්නවා හාමිනේ....

සිදුහත් යශෝධරා ට විතරක් ම පැරදිච්ච....


එහෙව් ආදර කතා වලට තමයි බෝසත් ආදර කතා කියන්නේ......"



~නිමි~



________________________



ආදරේ ගැන ලස්සනට වචන කරන්න නම් දන්නේ නෑ....



ඒත් මට ඕන වුණේ අද සමාජේ ඇතුළේ ආදරය තියන තැන මොනවගේ ද කියලා කියන්න....

අද සමාජේ ,,

හැමෝම නැති වුණත් ආදරේ කියන දේ අද සෙල්ලමකට අරන්....

හැඟීම් කියන දේත් එක්ක සෙල්ලම් කරනවා....

හිතනවද....

ඒක හොඳ වැඩක් කියලා...

නෑ...

ඒකෙන් වෙන්නේ ලස්සනට තියන ජීවිත විනාස වෙන එක....

අම්මා තාත්තා අමාරුවෙන් ගොඩ නගපු ආත්ම ගරුත්වය නැති වෙන එක....

කැමති ද එහෙම වෙනවට....

පොඩ්ඩක් හිතලා බලන්න....

සමහර විට හිතෙයි මන් මේ කියන්නේ පණ්ඩිත කතාවක් කියලා...

ඒත් ඒක තමයි ඇත්ත...

යන්න....

ගිහින් බලන්න අංගොඩ මානසික රෝහලට....

ආදරේ කියන දේ සෙල්ලමකට ගත්ත.....එහෙම සෙල්ලම් ආදරේක පැටලිලා ජීවිතේ වරද්ද ගත්ත අය ඉන්නවා...

උන් විඳවනවා.....

ආදරේ කරන්නේ ඒකටද....

නෑ...

ආදරේ කියන්නේ විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න ඕන දෙයක් නෙවෙයි.....

ඒක තේරුම් ගන්න....

අනිත් එක තමයි ආදරය නිසා තමන් වදපු අම්මා තාත්තා ට ගින්දර දෙන්න එපා

ඒක පවක්......

හැම කොල්ලෙක් ම දැනගන්න තමන්ගේ අම්මා , නංගි , අක්කා වගේ අනිත් කෙල්ලන්ටත් ගරු කරන්න.....

හැම කෙල්ලෙක් ම දැනගන්න තමන්ගේ තාත්තා , මල්ලී , අයියා වගේ අනිත් කොල්ලන්ට ගරු කරන්න....

එහෙම වුණ දවසට හරි ලස්සනට ආදර කතා ගලන් යයි...

මොකද ගරු කිරිම මත රැඳීම කියන දේ තියෙනවා.....

ඒ වගේ ම තමයි ආදරය කියන දේ ජීවිතය කරගන්න එපා....

ඒක ජීවිතේ එක් කොටසක් විතරයි....

හීන බලාපොරොත්තු , අරමුණු , ඉලක්ක , බාධක , දුක , සතුට මේ හැමදේම අතරේ තියන තවත් එක් දෙයක් විතරයි ආදරේ කියන්නේ...

ඒ නිසා ආදරය ජිවිතය කරගන්න එපා...නැති වුණත් හිනා වෙන්න බැරි වෙයි....හිත හයිය කරගන්න බැරි වෙයි....

ආදරේ විඳින්න.....විඳවන්න එපා

ලස්සන ජීවිත වනසන ,

වැනසුනු ජිවිත ලස්සන කරන

අරුම පුදුම බෙහෙතක් ආදරේ කියන්නේ....

තරම දැනගෙන මාත්‍රාව ට අනුව සීමා මායිම් ඇති තැන සැනසීම තියේවී....

නමුත් ,,,

තරම අඩු හො වැඩි වූ විට , මාත්‍රාව වෙනස් වූ විට නැත්නම් සීමා මායිම් බිඳුණු විට සැනසීම නොව විඳවීම පමණක් තියේවී....


මන් කිව්වේ මගේ අදහස...


ඔයාලත් ඔයාලගේ අදහසත් කියන් යන්....



බුදු සරණයි

පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️



මන් ,

Senadhi❤


Report Page